අනුරගෙන් ප්‍රශ්නකරන්න FCIDට අවසර

  👤  3126 readers have read this article !
By mawbima 2017-05-19

කේ.එස්. උදයකුමාර්

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයට පත්කර සිටින විශ්‍රාමික ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගැනීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (18දා) රහස් පොලිසියට අවසර දුන්නේය.

එම පැමිණිල්ල ඊයේ කැඳවූ අවස්ථාවේදී රහස් පොලිසිය කළ ඉල්ලීමක් පිළිගත් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා මේ අවසරය ලබා දුන්නේය.
රහස් පොලිසිය වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා ඉල්ලීමක් කරමින් මෙතෙක් සිදු කළ පරීක්ෂණවලදී අනාවරණය කරගත් තොරතුරුවලට අනුව රිමාන්ඩ් භාරයේ පසුවන අනුර සේනානායක මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවශ්‍යව ඇති බව දැනුම් දුන්නේය. ඒ අනුව ප්‍රකාශය සටහන් කර ගැනීම සඳහා රහස් පොලිසියට අවශ්‍ය ඉඩකඩ සලසා දෙන මෙන් කොළඹ බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක් නිකුත් කරන මෙන්ද රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඉල්ලා සිටියේය.

ඉල්ලීම පිළිගත් මහෙස්ත්‍රාත්වරයා මේ මස 23,24,25 සහ 26 දිනවල සැකකාර හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා රහස් පොලිසියට ඉඩ දෙන මෙන් බන්ධනාගාර අධිකාරිවරයා වෙත නියෝගයක් නිකුත් කෙළේය.

වසීම් තාජුඩීන් ඝාතනය සිදු වූ වකවානුවේ ජනාධිපති ආරක්ෂක අංශයේ දෛනික කාර්ය සටහන් පොත් පිටු ඉරා තිබීම පිළිබඳව තවදුරටත් පරීක්ෂණ පවත්වන බව රහස් පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවක් මඟින් දන්වා තිබේ. මේ සම්බන්ධයෙන් එම වකවානුවේ ජනාධිපති ආරක්ෂක අංශයේ සේවය කළ ඉහළ නිලධාරීන් 8 දෙනකුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයිද රහස් පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වෙයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය සැකකාර විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා ලබන 1 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කෙළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්