උතුරු මැද සභාපති උප සභාපති සංවිධායිකාව විසිවෙති?

  👤  3096 readers have read this article !
By mawbima 2017-05-19

දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කරමින් උතුරු මැද පළාත් සභාවේ ප්‍රධාන ඇමැති පේෂල ජයරත්න බණ්ඩාර මහතා ධුරයෙන් ඉවත් කරන ලෙස පළාත් ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා සිටි ආණ්ඩු පක්ෂ කණ්ඩායමේ ඇමැතිවරුන් ඇතුළු මන්ත්‍රිවරුන්...

දහහත් දෙනා අතර සිටි පළාත් සභාවේ සභාපති, උප සභාපති සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායිකා ඉදිරියේදී එකී තනතුරුවලින් ඉවත් කරනු ඇති බව පළාත් සභා ආරංචි මාර්ග පවසයි.
මේ අනුව සභාපති ටී.එම්. ආර්. සිරිපාල, උප සභාපති ජයන්ත මාරසිංහ යන මහත්වරුන් සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායිකා කල්‍යාණි කරල්ලියද්ද මහත්මියගේ තනතුරු මෙසේ අභියෝගයට ලක්ව ඇත.

සභාපති සහ උප සභාපති පළාත් සභාවේ මන්ත්‍රිවරුන්ගේ ඡන්දයෙන් තෝරා පත් කර ගැනෙන අතර ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක තනතුර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රි කණ්ඩායමේ එකඟතාව මත පත් කර ගන්නා තනතුරකි.
මෙවැනි මාරු කිරීමක් පිළිබඳව ඊයේ (18දා) කළ විමසුමකට පිළිතුරු දුන් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න බණ්ඩාර මහතා පැවැසුවේ ඒ ගැන තමාට කිසිවක් කිව නොහැකි බවයි. එවැනි තීරණයක් ගැනීම පක්ෂය සහ පක්ෂ නායකත්වය සතු කාර්යයක් බව ඇමැතිවරයා පැවැසීය.

මේ පිළිබඳව එම පළාත් සභාවේ විපක්ෂ නායක අනිල් රත්නායක මහතාගෙන් කළ විමසීමකදී කියා සිටියේ සභාපති සහ උප සභාපති යන තනතුරු දෙක මේ වන විට අභියෝගයට ලක්ව ඇතත් තම මන්ත්‍රි කණ්ඩායම ඒ පිළිබඳව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග ගැන මෙතෙක් සාකච්ඡා කොට නොමැති බවයි. එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ මැතිවරණයකින් පළාත් සභාවේ සම්පූර්ණ බලය ලබා ගැනීම මිස අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් ඇමැති තනතුරු හෝ වෙනත් තනතුරු ලබා ගැනීම නොවන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කෙළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්