වැල්ලවත්තේ තට්ටු 5ක ගොඩනැගිල්ල සමතලාවෙයි

  👤  3130 readers have read this article !
By mawbima 2017-05-19

පහන් විජේසේකර, කොළඹ - එම්. සී. පෙරේරා

වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාව සහ එක්සලන්සි නමැති උත්සව ශාලාවට යාබදව අලුතින් ඉදි කෙරෙමින් පැවැති පස් මහල් ගොඩනැඟිල්ලක් ඊයේ පෙරවරුවේ කඩා වැටීම හේතුවෙන් පුද්ගලයන් 21 දෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට සහ කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මහල් පහකින් සමන්විත එම ගොඩනැඟිල්ල ඊයේ පෙ.ව. 11ට පමණ කඩා වැටීමට ලක්ව ඇති අතර ඊයේ සවස් භාගය වන තුරුම ගොඩනැඟිල්ලේ සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයන් මුදා ගැනීම පොලිසිය, ගිනි නිවන හමුදාව, යුද හමුදාව, ගුවන් හමුදාව ඇතුළු පිරිස් විසින් සිදු කරනු ලැබූහ.
වැල්ලවත්ත, චාර්ලිමන් පාරේ කඩා වැටුණු එම ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් සේවකයන් හා එක්සලන්සි උත්සව ශාලාවේ සේවකයන් පිරිසක් මෙසේ තුවාල ලබා ඇති බව පොලිසිය සඳහන් කරයි.

කඩා වැටුණු ගොඩනැඟිල්ලේ සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයන් බේරා ගැනීමේ මෙහෙයුම මධ්‍යහ්නයේ සිට ඇදහැලුණු දැඩි වර්ෂාව මධ්‍යයේ සිදු කළ අතර බේරා ගනු ලබන තුවාලකරුවන් ගිලන් රථ මඟින් කොළඹ ජාතික රෝහල හා කළුබෝවිල රෝහල වෙත රැගෙන යෑමට පොලිසිය ඇතුළු නිලධාරීහු කණ්ඩායම කටයුතු කළහ. ලොරි රථයක් හා වෑන් රථයක්ද කඩා වැටුණු ගොඩනැඟිල්ලේ සුන්බුන්වලට යට වී විනාශ වී තිබෙන අයුරු දක්නට ලැබුණු අතර බැකෝ සහ බුල්ඩෝසර් යන්ත්‍ර එම ස්ථානයට පැමිණ සුන්බුන් කොටස් ඉවත් කරමින් පුද්ගලයන් බේරා ගැනීමේ මෙහෙයුමට දායක වන ආකාරයද දැක ගත හැකි විය.
ගිනි නිවන හමුදාව සහ යුද හමුදාව මැදිහත් වී පුද්ගලයන් බේරා ගැනීමේ මෙහෙයුම් සිදු කළ අතර සාමාන්‍ය ජනතාව සිද්ධිය වූ ස්ථානයට පැමිණීමෙන් මෙහෙයුම් කටයුතුවලට හා මාර්ග ධාවනයට දැඩි ලෙස බාධා එල්ල විය.

කඩා වැටුණු එම ගොඩනැඟිල්ලේ ප්‍රමිතිය පිළිබඳ ගැටලු රැසක් තිබුණු බවට එම ස්ථානයට රැස්ව සිටි අවට ආයතනවල සේවක පිරිස් හා ජනතාව චෝදනා කරනු දක්නට ලැබිණි.

කඩා වැටුණු ගොඩනැඟිල්ලේ යාබදව පිහිටි එක්සලන්සි උත්සව ශාලාවේ හෙට දින (20දා) මංගල උත්සවයක් පැවැත්වීමට වෙන් කර තිබූ බව එහි සේවය කරන පුද්ගලයකු පැවසූ බවත් වාර්තා විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්