අන්තරේ පාගමන යයි

  👤  3545 readers have read this article !
By mawbima 2017-05-18

දිවයින පුරා විශ්වවිද්‍යාල හා උසස් තාක්ෂණ ආයතනවල සිසුන් සයිටම් අහෝසි කරන ලෙස ඉල්ලමින් කොළඹදී පැවැත්වූ පා ගමනට විහාරමහාදේවි උද්‍යානය අසලදී පොලිසිය කඳුළු ගෑස් එල්ල කර විසුරුවා හරින ලදී.
ඊයේ (17දා) සවස යූනියන් පෙදෙස දෙසින් ටවුන්හෝල් දෙසට ගමන් කිරීමේදී ඉබ්බන්වලදී පොලිස් මාර්ග බාධක යොදා මාර්ගය අවහිර කොට තිබිණි. බේබෘෘක් දෙසින් පාක් රෝඩ් හරහා පුරහල දෙසට පැමිණි සිසුන්ට සවස 3.15ට පමණ පොලිස් කැරලි මර්දන ඒකක නිලධාරීන් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ අතර ඉන් බේරීම සඳහා විරෝධතාකරුවන් විහාරමහාදේවි උද්‍යානයට ඇතුළු විය. ඉන්පසු අවස්ථා විස්සකදී පමණ පොලිසිය කඳුළු ගෑස් උණ්ඩ 200ට ආසන්න සංඛ්‍යාවක් විරෝධතාකරුවන්ට එල්ල කළේය.

නෙළුම්පොකුණ රඟහල, ධර්මපාල මාවත හා කන්නන්ගර මාවත දෙසින් පොලිසිය විටින් විට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ අතර විසිරී යමින් කඳුළු ගෑස් උණ්ඩ අහුලාගත් සිසුහු ඒවා කැරලි මර්දන නිලධාරීන් දෙසට එල්ල කළහ.
සවස 5.30 පමණ වන විට කැරලි මර්දන ඒකකයේ නිලධාරීන් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට හා පොලිස් නිලධාරීන් විරෝධතා කරුවන් හඹා යමින්, කඳුළු ගෑස් උණ්ඩ ප්‍රහාර එල්ල කරමින් විරෝධතාකරුවන් විහාරමහාදේවී උද්‍යානයෙන් පිටතට එළවා දැමූහ. ඒ වන විටත් විහාරමහාදේවී උද්‍යාන මුළුමනින්ම පාහේ කඳුළු ගෑස් උණ්ඩවල දුමින් පිරි ගොස් තිබිණි.

විහාරමහාදේවී උද්‍යානයෙන් පිටතට පැමිණි සිසුහු අනගාරික ධර්මපාල මාවත අවහිර කරමින් රැඳී සිටියහ. විරෝධතාකරුවන් දෙසට එල්ලකළ කඳුළු ගෑස් උණ්ඩ ප්‍රහාර හේතුවෙන් අවට මාර්ගවල ගමන් ගත් විශාල පිරිසක් හා එම අවස්ථාවේ උද්‍යානයේ රැඳී සිටි පිරිසක් පීඩාවට පත් වී සිටියහ.
පැය දෙකකට අධික කාලයක් පුරාවට සිසුන් හා ආරක්ෂක අංශ අතර කඳුළුගෑස් උණ්ඩ හුවමාරුව සිදු වූ අතර විරෝධතාකරුවන් අතර සිටි එක් සිසුවියක හා සිසුන් (22ක්) විසිදෙදෙනකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. සිසුන් දස දෙනකු පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටින් විරෝධතා පා ගමන ආරම්භ කිරීමට ප්‍රථම උසස් පොලිස් නිලධාරීන් කිහිපදෙනකු එක්ව ශිෂ්‍ය නායකයන්ට, මහජනතාවට පීඩා වන අයුරින් හැසිරීම තහනම් කරමින් අධිකරණය විසින් නිකුත් කළ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමියන් ප්‍රතික්ෂේප කළ අතර පොලිසිය උන්වහන්සේ දෙසට දමා ගිය නියෝගය බිම දමා පාගා කෙළ ගසා ඇති අයුරු දැක ගැනීමට ලැබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්