සරත්-සම්පත්-සුසිල්-හේරත් උතුරු මැද ඇමැති තනතුරුවල දිවුරුම් දෙති

  👤  3635 readers have read this article !
By mawbima 2017-05-18

උතුරු මැද පළාත් සභාවේ ප්‍රධාන ඇමැතිවරයා හැර සෙසු අමාත්‍ය මණ්ඩලයම මේ වනවිට වෙනස් වී තිබේ. ප්‍රධාන අමාත්‍යවරයා හැරුණු විට අමාත්‍ය මණ්ඩලයේ හතර දෙනකු සිටි අතර ඊයේ සවස වනවිට ඉන් තිදෙනකු ඉවත් කර ඇත. එක් අයකු ඉල්ලා අස්වී තිබේ.

උතුරු මැද පළාත් සභාවේ මේ අර්බුදය ඇති වූයේ සෞඛ්‍ය දේශීය වෛද්‍ය සමාජ සුබ සාධන පරිවාස හා ළමා රක්ෂණ ඇමැති ලෙස සිටි කේ. එච්. නන්දසේන මහතා ඉවත් කිරීමත් සමඟය. ඔහුගෙන් හිස්වූ ඇමැති ධුරයට පත්වූයේ එම්. හේරත් බණ්ඩා මහතාය. නන්දසේන මහතා ඉවත් කිරීමට විරෝධය පා උතුරු මැද පළාත් සභාවේ ප්‍රවාහන සමුපකාර වෙළෙඳ කර්මාන්ත හා ක්‍රීඩා ඇමැති එස්. එම්. රංජිත් මහතා ඉල්ලා අස්විය. ඔහුගෙන් හිස්වූ තනතුරට අලුතින් පත්වූයේ සුසිල් ගුණරත්න මහතාය.
මේ බල අරගලය තීව්‍ර කරමින් ඊයේ (17දා) උදේ උතුරු මැද පළාත් සභාවේ ජේ‍යෂ්ඨතම සන්ධාන මන්ත්‍රි එච්. බී. සේමසිංහ මහතා එතෙක් දැරූ වාරිමාර්ග, ඉඩම්, ග්‍රාම සංවර්ධන, කාන්තා කටයුතු අමාත්‍ය ධුරය ඔහුගෙන් ඉවත් කර සරත් ඉලංගසිංහ මහතාට ලබා දුන්නේය. ඔහු ඊයේ උදෑසන ආණ්ඩුකාර පී. බී. දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන් අතර ඊයේ සවස කෘෂිකර්ම, කෘෂි නිෂ්පාදන අලෙවි, සත්ත්ව නිෂ්පාදන, සත්ත්ව සෞඛ්‍ය සහ ධීවර කටයුතු පිළිබඳ ඇමැති ධුරයේ සම්පත් ශ්‍රී නිලන්ත වික්‍රමාරච්චි මහතා දිවුරුම් දුන්නේය. මේ අමාත්‍ය ධුරයේ මීට පෙර දැරුවේ ආර්. එම්. පුංචි බණ්ඩා රත්නායක මහතාය.

මේ අනුව උතුරු මැද පළාත් සභාවේ ප්‍රධාන ඇමැතිවරයා හැර අනෙකුත් අමාත්‍යවරු 4 දෙනාම අලුතින් පත්ව ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්