මෛත්‍රිට එජාපය කරපු උදවු අමතකවෙලා

  👤  4049 readers have read this article !
By mawbima 2017-05-18

රට රකින මුවාවෙන් ශ්‍රී ලනිපය ශක්තිමත් කරන වැඩපිළිවෙළට දිරිදීමක් ඉදිරි කැබිනට් සංශෝධනයේදී සිදුවුවහොත් එජාප පසුපෙළ මන්ත්‍රිවරු ලෙස ඊට විරුද්ධව ක්‍රියාමාර්ගවලට එළැඹීමට බලාපොරොත්තු වන බව පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක ප්‍රියන්ත පවසයි.
මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (17දා) ලංකා ජාතික වතු කම්කරු සමාගමේ ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
ජනාධිපති වීම සඳහා එජාපය ලබාදුන් සහාය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට අමතක වී ඇති බවක් පෙනෙන්නට ඇතැයිද නෑයන්, මිතුරන් ලෙස ජනවාරි 08 වැනිදා සහ අගෝස්තු 17 වැනිදා නොසිටි අය අද ආණ්ඩුවේ රැඳෙමින් වේයන්, මීයන් ලෙස පැමිණේ නම් තමන් සතුව ඊට පිළියම් ලෙස කෘමිනාශක තිබෙන බවද හෙතෙම පැවැසීය.

යහපාලන ආණ්ඩුවේ ප්‍රතිපත්ති ක්‍රියාවේ නොයොදන මැති ඇමැතිවරු සෙවීම, කැබිනට් සංශෝධනයකට වඩා කාලෝචිත බවත්, ආණ්ඩුවට පරාජිත දේශපාලනඥයන් සම්බන්ධ වී පළමු තැන දිය යුතු රට දෙවැනි තැනට දමා පක්‍ෂයක් ගොඩනැඟීමට උත්සාහ දරන්නේ නම් ඊට පෙළ ගැසීමට සූදානම් බවත් මන්ත්‍රිවරයා පැවැසුවේය.
අගමැතිවරයාගේ නියෝගයට අනුව තමන් ඇතුළු පිරිස මෛත්‍රිපාල සිරිසේන මහතාව ජනාධිපති කරවීම සඳහා කරපින්නාගෙන ගමට ගෙන ගියත් ජනාධිපතිවරයා පරාජිතයන්ගේ වචනවලට වහල්වී කටයුතු කරයි නම් ඊට තරයේ විරුද්ධ බවත් පැවැසීය.

මහින්දගේ පිරිස් අද ආණ්ඩුවට රිංගා ආණ්ඩුව පිහිටුවන්නට සහයෝගය දුන්නු අය දෙකඩ කිරීමට උත්සාහ දරන බවත් පවතින තත්ත්වයට එ.ජා.පයේ බොහෝ දෙනා කලකිරී සිටින බවත් හෙතෙම පැවැසුවේය.
ආණ්ඩුවේත් රටේත් පැවැත්ම වෙනුවෙන් යූ.ඇන්.පී.ය ඒවා ඉවසා දරා සිටින හෙයින් තුවාලෙ පාරමින් ඊට ලුණු දමන්නට එපා යැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම කීවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්