අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලිය කොළඹ හා දඹුල්ල පළමු ජය ලබයි

  👤  2462 readers have read this article !
By mawbima 2017-04-21

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරනු ලබන සුපිරි අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවැති තරගවලදී මහනුවර කණ්ඩායම ලකුණු 106කින් පරාජය කිරීමට කොළඹ කණ්ඩායම සමත් වෙද්දී ගාල්ල කණ්ඩායම එක් කඩුල්ලකින් පරාජය කිරීමට දඹුල්ලට හැකිවිය. ඒ අනුව තරගාවලියේ පළමු ජයග්‍රහණය ලබන්නට කොළඹ හා දඹුල්ල කණ්ඩායම් සමත් විය.

එන්.සී.සී. පිටියේදී පැවැති කොළඹ හා මහනුවර තරගයේ පළමුව ලකුණු රැස්කළ දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් කොළඹ කණ්ඩායම නියමිත පන්දුවාර 50කදී කඩුලු 8කට ලකුණු 288ක් ලබා ගත් අතර, එහිදී නායකත්වයේ ඉනිමක නිරත වූ චන්දිමාල් පන්දු 77කදී හතරේ පහර 5ක් හා හයේ පහර දෙකක් සමඟිින් ලකුණු 76ක් ලබාගත්තේය. ඔහුට අනගි සහායක් ලබා දුන් වනිඳු හසරංග පන්දු 44කදී හතරේ පහර 5ක් සමගින් ලකුණු 49ක් ලබාගත් අතර, ඔහු චන්දිමාල් සමඟිින් 5වැනි කඩුල්ල සඳහා ලකුණු 103ක සබඳතාවක්ද එක් කළේය.

ලකුණු 289ක ඉලක්කයක් හඹා ගිය මහනුවර කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන් ලකුණු 182කට සීමා කිරීමට නුවන් ප්‍රදීප් ප්‍රමුඛ කොළඹ කණ්ඩායමේ පන්දු යවන්නන් සමත් වී තිබිණි. එහිදී ලකුණු 56කට කඩුලු 3ක් දවාගැනීමට නුවන් ප්‍රදීප් සමත් විය.
දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී පැවැති ගාල්ල හා දඹුල්ල කණ්ඩායම් අතර තරගයේ පළමුව ලකුණු රැස්කළ ගාල්ල කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළදී කඩුලු 8කට ලැබූ ලකුණු 250ට පිළිතුරු සැපයූ දඹුල්ල කණ්ඩායම පන්දුවාර 50කදී කඩුලු 9ක් බිඳ වැටී නියමිත ඉලක්කය පසුකර ගියේය.
ගාල්ල කණ්ඩායම වෙනුවෙන් චතුරංග ද සිල්වා ලකුණු 56ක්ද, සික්කුගේ ප්‍රසන්න ලකුණු 46ක්ද ලබාගත් අතර, මිලින්ද සිරිවර්ධන, දිල්රුවන් පෙරේරා හා ළහිරු කුමාර කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.

ලකුණු 251ක ඉලක්කයක් හඹා ගිය දඹුල්ල කණ්ඩායම කඩුලු 9ක් පමණක් අහිමි කරගනිමින් නියමිත ඉලක්කය අවසන් පන්දුවේදී පසුකර ගියේ ගාල්ල කණ්ඩායමට එක් කඩුල්ලක තියුණු පරාජයක් අත්කර දෙමිනි. ලකුණු 46ක් ලබාගත් හර්ෂ කුරේ දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණුලාභියා බවට පත්විය.
ලකුණු සාරාංශය
කොළඹ හා නුවර තරගය
කොළඹ (පන්දුවාර 50කදී කඩුලු 8කට) 288 (දිනේෂ් චන්දිමාල් 76, ඩිල්ෂාන් මුණවීර 52, වනිඳු හසරංග 49, ලහිරු තිරිමාන්න 49, නුවන් ප්‍රදීප් 3/56)
මහනුවර (පන්දුවාර 38කදී සියලු දෙනා දැවී) 182 (සචිත් පතිරණ 46, චාමර කපුගෙදර 36, වනිඳු හසරංග 3/37, සචිත්‍ර සේනානායක 3/39)
ගාල්ල-දඹුල්ල තරගය

ගාල්ල (පන්දුවාර 50කදී කඩුලු 8ට) 250 (චතුරංග ද සිල්වා 56, සික්කුගේ ප්‍රසන්න 46, සුරංග ලක්මාල් නොදැවී 33)
දඹුල්ල (පන්දුවාර 50කදී කඩුලු 9කට) 251 (හර්ෂ කුරේ 46, මිලින්ද සිරිවර්ධන 39, චාමික කරුණරත්න 2/23)

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්