මීතොටමුල්ල කුණු කන්ද පුනරුත්ථාපනය කළ යුතුයි

  👤  2620 readers have read this article !
By mawbima 2017-04-21

ජාතික අවශ්‍යතාවක් සේ සලකා කුණු ගැටලුව අත්‍යවශ්‍ය සේවාවක් ලෙස එකම මධ්‍ය අධිකාරියක් යටතට පත්කළ යුතු බව මහ නගර හා බස්නාහිර පළාත් සභා අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය එක්ව එම අධිකාරිය පිහිටුවිය යුතු බව ඊයේ (20දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පැවැසූ අතර අමාත්‍යවරයා එහිදී කියා සිටියේ මීතොටමුල්ල කුණු කන්ද ක්‍රමයෙන් පුනරුත්ථාපනය කළ යුතු බවයි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා
මීතොටමුල්ලේ වර්ග මීටර් මිලියනයක කසළ තිබෙනවා. මීටර් 30කට වඩා අඩු උසකින් තිබිය යුතු කුණු කන්ද මීටර් 48.5 දක්වා ඉහළට දමා තිබුණා. මේ ප්‍රශ්නය ගැන කොළඹ නගර සභාවට නාගරික සංවර්ධන අමාත්‍යාංශය දැනුම් දුන්නා. 2016 සැප්තැම්බර් මස 21 වැනිදා අපි දැනුම් දුන්නා මෙම ස්ථානයේ කුණු දැමීම නතර කරන්න කියලා. 2016 දෙසැම්බර් 21 නැවත සිහිකැඳවීමක් කළා. 2017 ජනවාරි මාසයේ කැබිනට් පත්‍රිකාවක් දමල වහාම කුණු දැමීම නතර කරන්න කියල අපේ අමාත්‍යාංශ, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ දැනුම් දුන්නා. ඒ අනුව බස්නාහිර පළාත් කසළ අධිකාරියට අයිතියක් තිබෙනවා. ඒ සඳහා කටයුතු කරන්න. විටින් විට කොළඹ නගර සභාවත්, බස්නාහිර පළාත් අධිකාරියත් විවිධ ක්‍රියා මාර්ග ගත්තා කසළ පුනරුත්ථාපනය කරන්න. 2016 දී ටෙන්ඩර් කැඳවල සියලු දේ අවසන් කර අපි ඒක පළාත් සභාවට භාර දුන්නා. ඉන් පසු එහි වගකීම ඔවුන් සතුයි. හැමෝම මොනවද කියන්නෙ කොළඹ කුණු අපට එපා කියලයි. නාගරික සංවර්ධන අධිකාරියේ නිවාස ව්‍යාපෘතිය යටතේ නිවාස අහිමි වූ 98 දෙනකුට අපි හෙට දවසේ (21දා) නිවාස දෙන්න කටයුතු කරනවා. මීතොටමුල්ලේ අනතුරු කලාපයක් නම් කරලා තියෙනවා. ඒ අනුව හඳුනාගත් පවුල් 100කට මාස 6ක් ඇතුළත නිවාස දෙනවා. අවුරුදු තුනක් තුළ එම කුණු කන්ද තිබූ ස්ථානයේ නාගරික උද්‍යානයක් ඉදිකරන්නත් සූදානම්.

හැමෝම කියනවා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පුත්තලමේ විධිමත් කුණු කසළ බැහැර කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා, ඒක මේ ආණ්ඩුව නැවැත්තුවා කියලා. ඇත්තටම එතුමා ඒ ආරම්භ කළ පුත්තලම හිරිගල්වලට විධිමත් කසළ බහාලුමක් ඉදිකිරීමේ ක්‍රමය සාර්ථකයි. කවුරු කළත් ඒක හොඳ වැඩක්. නමුත් අපි ඒක අතරමඟ නතර කරලා නැහැ.

2014 අගෝස්තු මාසයේදී ඒ ව්‍යාපෘතිය කරන්න අනුමැතිය ලැබුණා. මීළඟට 2016දී පරිසර අමාත්‍යාංශය අධ්‍යයනය කරල 2016 ජනවාරි මස 16 වැනිදා ඊට අනුමැතිය දුන්නත් වනජීවී අමාත්‍යාංශය ඊට ඉඩදුන්නේ නැහැ. අපි ඔවුන්ටත් ඇහුම්කන් දීල වෙනත් ස්ථානයක් අධ්‍යයනය කරමින් ඉන්නේ. කොළඹ ලස්සන කළ ගෝඨාභයට ඇයි බැරි වුණේ මීතොටමුල්ල කුණු කන්ද ඉවත් කරන්න.

සිදත් මෙන්ඩිස්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්