අවුරුදු 69ක් පුරා පාලකයන් කළේ කඹ ඇදීම සහ ඇඟිලි දිගු කිරීමයි

  👤  2566 readers have read this article !
By mawbima 2017-04-21

රාජපක්ෂ පාලනය විසින් ගොඩගැසූ මීතොටමුල්ල කුණු කන්ද මෛත්‍රි - රනිල් හවුල පවත්වාගෙන ගිය බවත් කුණු කන්ද නායයෑමේ ඛේදවාචකයට ආණ්ඩු දෙකම වගකිවයුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් චෝදනා කරයි.
මීතොටමුල්ල කුණු කන්ද නායයෑමෙන් ජීවිත 32ක් අහිමි වන තුරු බලා සිටි පාලකයන් මේ මොහොතේ එහි වගඋත්තරකරුවන් ලෙස විපතට පත් ජනතාවටම ඇඟිල්ල දිගු කරමින් සිටින්නේ ආණ්ඩුවේ දෙවැනි සාපරාධී ක්‍රියාවටත් අතගසමින් බව මන්ත්‍රි විජිත හේරත් පෙන්වා දෙයි.

වසර 69ක් තිස්සේ මෙරට කසළ ප්‍රශ්නයට විසඳුමක් නොගෙනීමට හේතුව දේශපාලන මාෆියාවක් වීම යැයි මන්ත්‍රිවරයා පවසයි.
අද මහ ඇමැති එකක් කියනවා. මෙගා පොලිස් ඇමැති තව එකක් කියනවා. දෙන්නා දෙමාරුවට වැරැදි පටවනවා. පාඨලී චම්පික පරිසර ඇමැති වෙලා බ්ලූමැන්ඩල් කුණු කන්ද දිහා බලාගෙන කිව්වේ අවුරුදු දෙකක් යන්න කලින් බ්ලූමැන්ඩල් බිමට සමතලා කරනවා කියලා. එදා ඒ කතාව පත්තරවල ලීඩ් ගියා. ඔහු ගිය ආණ්ඩුවේ පරිසර ඇමැති, මේ ආණ්ඩුවේ මෙගා පොලිස් ඇමැති, කරපු දෙයක් නෑ. මේ අයට කාටවත් වරද පටවල කර අරින්න බෑ. පාඨලීට විසඳුම් තියෙනවා කිව්වට කළේ නෑ. ඇත්ත කතාව පාඨලීගේ බැරිකම යැයි හේරත් මහතා චෝදනා කරයි.

විගණකාධිපතිගේ වාර්තාවෙන් කුණු ඉවත් කිරීමේ මූලික ක්‍රියාවලියේ මුදල් අක්‍රමිකතා වෙලා කියලා පැහැදිලිව කියනවා. කුණු එක්ක සල්ලි ගනුදෙනුවක් වෙලා තියෙනවා. ඒක ඔප්පු කරගන්න එක නීතියට භාරයි. දැන් ආණ්ඩුව ජනතාවට වගකීම් පටවන්න හදනවා. පාරම්පරික ඉඩම්වලට කුණු දාලා දැන් මිනිසුන්ට ‍ෙදාස් කියනවා යැයි ඒ මහතා පැවැසුවේ ඊයේ (20දා) සිය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක් වෙමිනි.

2008දී කොළොන්නාවේ මීතොටමුල්ලට කොළඹ නගරයේ කුණු දැමීම ආරම්භ කළා. 1979 සිට මීතොටමුල්ලට දැම්මේ කොළොන්නාව නගර සභාවේ කුණු පමණයි. කොළඹ කුණු දාපු බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ නීතිමය ප්‍රශ්නයක් නිසා මීතොටමුල්ල තෝරාගත්තා. ඒ අවස්ථාවේදී එම ප්‍රදේශය ජනාකීර්ණ ප්‍රදේශයක් වී තිබුණු නිසා කුණු දාන්න එපා කියලා ජනතාව විරුද්ධ වුණා. කුණු දාන එක ගැන කොළොන්නාව නගර සභාවට ආපු විශේෂ යෝජනාවට විරුද්ධ වුණේ ජවිපෙ මන්ත්‍රි ධම්මික විජයමුණි සහෝදරයා විතරයි. අනෙක් පක්ෂ දෙකේ මන්ත්‍රිවරු සියලු දෙනාම කුණු දාන එකට පක්ෂව අත ඉස්සුවා. ජනතාව ඊට විරුද්ධව උද්ඝෝෂණ කළා. ගෝඨාභය රාජපක්ෂ හමුදාව - පොලිසිය දාලා මිනිස්සු බිය වද්දලා කුණු දැම්මා. වසර ගණනකට පසුව එම ප්‍රදේශය කුණු කන්දක් බවට පත්වුණා. අවසානයේ ඒ කුණු කන්ද කඩා වැටිලා විශාල ඛේදවාචකයක් ඇති වුණා.

අද මහ ඇමැතිවරු, ආණ්ඩුවේ ඇමැතිවරු එක එක කතා කියනවා. බස්නාහිර මහ ඇමැතිවරයා මෙගා පොලිස් ඇමැතිවරයාට වගකීම පවරනවා. බි්‍රතාන්‍ය සමාගමක් ඉදිරිපත් කරපු ව්‍යපෘතිය චම්පික රණවක ප්‍රතික්ෂේප කළා කියලා මහ ඇමැති කියනවා. ඇමැතිවරු කඹ අදිනවා. මහ ඇමැති එකක් මෙගා පොලිස් ඇමැති තව එකක් කියනවා. මීතොටමුල්ල කුණු කන්ද ඉවත් කරන්න සමාගම 108ක් ඉල්ලුම් කළා. මෙම කුණු දහනය කොට විදුලිය නිපදවන්න, ජීව වායුව හදන්න, පොහොර හදන්න, ඔවුන් ව්‍යාපෘති ගණනාවක් ඉදිරිපත් කළා. ලැබෙන ලාභයෙන් ආණ්ඩුවට කොටසක් ගෙවන්නත් යෝජනා වුණා. නමුත් ඒ කිසිවක් ක්‍රියාත්මක වුණේ නැහැ. මීතොටමුල්ලට විතරක් නෙවෙයි බ්ලූැමැන්ඩල්වලටත් වුණේ එකම දෙයක්. මේ ප්‍රදේශවල පමණක් නෙවෙයි රටේ විවිධ ප්‍රදේශවල කුණු ප්‍රශ්නය උග්‍ර වෙමින් තිබෙනවා. කුණු මාෆියාව නිසා උත්තර හොයන්න බැරිවෙලා තියෙනවා. ආණ්ඩුව තමයි මේ මාෆියාව පරද්දලා විසඳුම් දෙන්න ඕන. නමුත් මේ ආණ්ඩු අවුරුදු 69ක් තිස්සේ කළේ එකිනෙකාට බැන ගන්න එකයි කඹ අදින එකයි විතරයි.

දැන් ආණ්ඩුව විසඳුමක් කියලා තවත් පැලැස්තරයක් අලවන්න යනවා. මේ කුණු තව ස්ථානයකට ගෙනිහින් දාන්න යනවා. කලින් ආණ්ඩුව පුත්තලමට ගෙනියන්න හැදුවා. මේ ආණ්ඩුව ඒකල ඔතේ කැලේට කුණු දාන්න හදනවා. එම ප්‍රදේශයත් ජනාකීර්ණ ප්‍රදේශයක්. අනෙක් පැත්තෙන් අත්තනගලු ඔය තියෙනවා. සුළු වැස්සකටත් ගංවතුරෙන් යට වෙනවා. ඒ නිසා අනතුරක් තිබෙනවා. ඒ නිසයි ඒකල ජනතාව මීතොටමුල්ලේ කුණු එපා කියන්නේ. ආණ්ඩුව කරන්න හදන්නේ මීතොටමුල්ලේ ප්‍රශ්නය ඒකලට ගෙනියන එකයි. ඒක උත්තරයක් නෙවෙයි. අනෙක් පැත්තෙන් කොළඹ කුණු කරදියානට ගෙනියන් හදනවා. එතැනත් ටොන් ලක්ෂ ගාණක කුණු එකතු වෙලා. කරදියානත් ජනාවාසකරණය වූ ප්‍රදේශයක්. අනෙක් පැත්තෙන් බොල්ගොඩ ඔය. ඒ නිසා තමයි පක්ෂ භේදයක් නැතිව පොදු ජනතාව මේකට විරුද්ධ වෙන්නේ.

ජනතා විමුක්ති පෙරමුණේ අපි 2002දී තිස්ස ප්‍රාදේශීය සභාවේ බලය ගත්තා. ඒ වෙලාවේ ප්‍රාදේශීය සභාවට තිබූ ප්‍රධාන ප්‍රශ්නයක් තමයි කැළිකසළ ප්‍රශ්නය. ප්‍රාදේශීය සභාවක් ලෙස පළමු වතාවට කසළ ප්‍රතිචක්‍රියකරණය අපි ආරම්භ කළා. උඩුගම් බලා යන පරිසර ව්‍යාපෘතිය ලෙස අපි ඒක නම් කළා. මුලින්ම අපි කළේ අක්කර 10ක ජනශූන්‍ය ප්‍රදේශයක් තෝරා ගත්ත එක. ඉන්පසුව වන අලි එන එක නවත්වන්න ඉඩම වට කරලා විදුලි වැටක් ගැහුවා. පසුව කුණු වෙන් කරලා එම ඉඩමට ගිහින් දැම්මා. ටැංකි 04ක් නිර්මාණය කරලා එකතු වුණු කුණු ප්‍රතිචක්‍රියකරණය කරලා කාබනික පොහොර හැදුවා. කාබනික පොහොර මල්ලක් රු. 25 ගණනේ සහන මිලකට දුන්නා.
රාජපක්ෂලා ගොඩගහපු කුණු තමයි අද මීතොටමුල්ලේ තියෙන්නේ. ගෝඨාභය කොළඹ ලස්සන කරනවා කියලා මීතොටමුල්ලේ කුණු පිරෙව්වා. මෙහි පළමු වගඋත්තරකරුවන් වෙන්නේ රාජපක්ෂ ආණ්ඩුවයි. මේ ආණ්ඩුව රාජපක්ෂලා ගොඩගහපු කුණු පවත්වාගෙන ගියා. මෙම කුණු ප්‍රශ්නයට විද්‍යාත්මක විසඳුමක් තිබෙනවා. ලෝකයේ බොහෝ රටවල් මෙම විද්‍යාත්මක විසඳුම් යොදාගෙන තිබෙනවා. සමාජවාදී කියුබාව, මෙම විසඳුම් පාවිච්චි කරලා සම්පූර්ණයෙන් ඩෙංගු මර්දනය කළා. ළදරු පාසලේ සිට වැඩිහිටියන් දක්වා කසළ කළමනාකරණය පිළිබඳ දැනුවත් කරනවා. ඒ විදියටම අපි තිස්ස ප්‍රාදේශීය සභාවේ ළදරු පාසල්වල කසළ කළමනාකරණය පිළිබඳ දරුවන්ට ඉගැන්වූවා. මේවා පිළිබඳව ජනතාව දැනුවත් කිරීම, අධ්‍යාපනය ලබාදීම ආණ්ඩුව විසින් කළ යුතුයි. දිරාපත්වන කුණු, දිරාපත් නොවන කුණු වෙන් කිරීමට ජනතාව දැනුවත් කළ යුතුයි. පාසල් තුළ විෂය නිර්දේශවලට කසළ ප්‍රතිචක්‍රියකරණය පිළිබඳ කරුණු ඇතුළත් කළ යුතුයි. ඊට සමගාමීව ආණ්ඩුව කසළ ප්‍රතිචක්‍රියකරණයට යාන්ත්‍රණයක් සකස් කළ යුතුයි. මේ කරුණු දෙකම එකතුවන විට තමයි සැබෑ උත්තරයක් ලැබෙන්නේ.

කසළ ප්‍රතිචක්‍රියකරණයේ ප්‍රධාන කරුණු දෙකක් තිබෙනවා. එකක් තමයි මූලාශ්‍රයේදී වෙන් කිරීම. අනෙක් කාරණය වෙන්නේ 3 ආර් සිස්ටම් එක. රෙඩියුස්, රි යූස් සහ රිසයිකල්. මෙම ක්‍රමය යටතේ කසළ කළමනාකරණය කළ යුතුයි. අපේ රටේ මහ ඇමැතිවරු, කැබිනට් ඇමැතිවරු, අපේ රටේ නායකයන් ඕනෑ තරම් ලෝකයේ වෙනත් රටවල්වලට ගිහින් සේවා පිළිබඳව අධ්‍යයනය කරනවා. ඒත් ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි කුණු මාෆියාව ක්‍රියාත්මක වීම. කුණු ඉවත් කරන කොන්ත්‍රාත්තුව ගන්නෙත් දේශපාලකයන්. ආණ්ඩුවත් මේ මාෆියාව පවත්වාගෙන යන කොටස්කාරයෙක්.

අනුරාධා හේරත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්