අනුරාධපුර මුල් යුගයට අයත් දාගැබක් මතුවේ

  👤  2595 readers have read this article !
By mawbima 2017-04-21

දයා පෙරේරා

මාතලේ විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි සෝනුත්තර රජමහා විහාරස්ථානයේ සිදුකළ පුරාවිද්‍යා කැණීම්වලදී අනුරාධපුර මුල් යුගයට අයිති දාගැබක් හමුවී ඇත.
කැණීම් සිදුකරන විට චතුරස්‍රාකාර ප්‍රාකාර බැම්මක් තුළ පිහිටි සලපතළ මළුවක් එම ස්ථානයෙන් මතුකරගෙන ඇත. ඒ මත මීටර් 30-20ක වටප්‍රමාණයෙන් යුත් පළමු පේසාව සහිත දාගැබ් ගොඩනැඟිල්ල පිහිටා ඇති බව අනාවරණය වී තිබේ. සලපතළ මළුව තුළ බටහිර අන්තයේ දාගැබ් ගර්භයට ආසන්නව පාෂාණමය මල් ආසනයක්, සිරිපතුල් සටහන් කළ ගලක්, මීටරයක විශ්කම්භය සහිත ආකෘති දාගැබ් දෙකක්, කැඩී ගිය සිරිපතුල් දැක්වෙන ගල් දෙකක් මෙන්ම නැඟෙනහිර දිශානුගතව මේ දාගැබ සඳහා වන ප්‍රවේශ මාර්ගයක්ද පාදා ගැනීමට කැණිම් කණ්ඩායමට හැකිවී ඇත.

සෝනුත්තර රජමහා විහාර පරිශ්‍රයෙන් හමුවූ ඉපැරණි ගඩොල් ඇතිරුම්වල ශේෂ සහ වැලි මළුවක සාධකද අනුව කැණීම් පරික්ෂාවලින් තහවුරු වී ඇත්තේ ඒවා අනුරාධපුර මුල්යුගයට අයිති පුරාවිද්‍යා සාධක බව යැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සලපතළ මළුවෙන් මතුවූ ථූප ගලක ශේෂ සහ දාගැබ් ගෘහය අක්ෂර සහිත ඉපැරණි ගඩොල් අවශේෂ සිය නිගමන තහවුරු කරන බවද දෙපාර්තමේන්තුව කියයි. විවිධ අවධිවලට අයිති ගඩොල් හා අලංකාර මැටි මෙවලම් ශේෂ ද එහිදී හමුවී තිබේ.
පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථාන සංරක්ෂණය කිරීමටත් පුරාවිද්‍යා ගවේෂණ විධිමත්ව සහ අඛණ්ඩව පවත්වාගෙන යෑමටත් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්