ගල් ගසන්නෝ

  👤  2439 readers have read this article !
By mawbima 2017-04-21

වසර ගණනාවක් ගිනියම් වෙමින් තිබූ මීතොටමුල්ලේ කුණු කන්ද පුපුරා ගියේ 2017 බක් මාසය සංවේග ජනක මතකයන් ඉතිහාසයට එක් කරමින්ය. අකාලයේ ජීවිත විනාශවීම තරම් කම්පනයක් තවත් නැත. මීතොටමුල්ලේ සිද්ධ වුණේ එහෙම දෙයකි. මේ සිදුවීමත් එක්ක දැන් දේශපාලකයන් බොර දියේ මාළු බෑම පටන් ගෙන ඇත. දේශපාලන සරණාගතයන්ට මේක හොඳ ඉල්ලමක්ය. ඒ ඉල්ලම පාදාගෙන ඒ සරණාගතයෝ සෙල්ලමක නියැළෙති.
සමහරුන් කතා කරන්නේ කුණු කන්ද ගොඩ ගැහුණේ ඊයේ පෙරේදා කියලා හිතාගෙන වගේය. බ්ලූමැන්ඩල් කුණු කන්ද පුපුරා ගියාට පසු මීතොටමුල්ල කුණු කන්ද ගොඩ ගැහුවේ ගිය ආණ්ඩුවය. දවසින් දවස අහස උසට නැඟෙන කුණු කන්ද අසල ජීවිත තිබෙන බව ඒ දවස්වල හිටිය පාලකයන් නොදැන සිටිය ගාණය.
'අපි මේ කුණු කන්ද පුත්තලමට බැහැර කරන්න හිටියේ. ඒත් ඊට කලින් ආණ්ඩුව පෙරළුණා'

කියා ආණ්ඩු විරෝධීන් කියන්නේ හරි පහසුවෙන්ය. ඒක තරම් විහිළුවක් තවත් නැත. නාගරික කොළඹ අරුමෝසම් කරන ගමන් මීතොටමුල්ලට හැමදාම කුණු වැටුණි. ඒ කුණු කන්ද පසුගිය ආණ්ඩුව දැක්කේ උද්ඝෝෂණ කිහිපයක්ම කළාට පස්සේය. එහෙත් සිද්ධ වුණේ උද්ඝෝෂකයන්ට ගුටිකන්න වෙච්ච එකය. මීතොටමුල්ලට කුණු එපා කියා පළමු උද්ඝෝෂණය තිබ්බේ 2011දී ය. එදා ගෝඨාභයලා, අනුර සේනානායකලා කළේ උද්ඝෝෂකයන්ට පන්න පන්නා පහර දුන්න එකය.

2008 බ්ලූමැන්ඩල් කුණු කන්ද පුපුරාගියාට පස්සේ ඒ ආණ්ඩුව කුණු බැහැර කරන්න වෙන්කර ගත්තේ මීතොටමුල්ලය. ඒක ඉස්සර මහා විශාල කුඹුරක්ය. පුරන් කුඹුර කුණුගොඩ ගහන තැනක් බවට පත් කළේ ඒ කාලයේ ආණ්ඩුවය. අක්කර හතර අක්කර හතළිහක් පුරා කුණුවලින් පිරෙන තුරු කොළඹ ලස්සන කරපු අයට ඒක පෙනුණේ නැත. කොළොන්නාව, කොටිකාවත්ත, මුල්ලේරියාව කුණු දමන්නට විතරක් අවසර තිබූ මීතොටමුල්ලට මුළු කොළඹම කුණු එකතු වෙද්දිත් ඒ කාලේ ලොක්කෝ හිටියේ මර නින්දේය. මීටර් දෙසීයක් පමණ උස කුණු කන්දකින් මීතොටමුල්ල වැසෙන විටවත් ඒ අයගේ ඇස් ඇරුණේ නැත.

අපි තව ටික දවසක් හිටියා නම් කුණු කන්ද ඔතන නෑ කියා ඒ අය කියන්නේ කොහෙන්දැයි කියා ඒ අය කියන්නේ කොහොමදැයි සිතා ගන්නට බැරිය. අපි කුණු පුත්තලමට දාන්න හිටියේ. අන්තිම වෙලාවේ ආණ්ඩුව පෙරළුණා කියන අය අමතක කරන දෙයක් තිබේ. ඒ පුත්තලමේ කුණු දමන්නට සැලසුම් සකස් කොට තිබූ ස්ථානයට අවසර ලබා ගැනීම පවා ඔවුන්ට කරගන්නට බැරි වූ බවය.

මේ වගේ සංවේදී ප්‍රශ්නයකදී කළ යුත්තේ අවස්ථාවාදී ගෝත්‍රික දේශපාලන නාඩගම් නැටීම නොවේ. වියට්නාමයට ගිය අගමැතිවරයා පෙරළා පැමිණි විගස ගියේ මීතොටමුල්ලටය. දැන් "එදා වේල" කණ්ඩායමේ බයිට් එක අගමැති එහේ යද්දී 'මාස්ක්' එකක් දාගෙන ගිය එකය. මේ රටේ ඊනියා දේශපාලනය තියෙන්නේ මීතොටමුල්ලේ කුණු කන්දටත් වඩා පහළින්ය.

ආව ගමන් පොළව බදාගෙන වැඳ වැටී යන 'නළුවකුගේ' භූමිකාව බලාපොරොත්තු වන දේශපාලන නොදරුවන්ට රනිල් මීතොටමුල්ලේ යද්දී මාස්ක් එකක් දාගෙන යෑම බයිට් එකක් වීම පුදුමයක් නොවේ.

2014 ඔක්තෝබර් 29දා මේ වගේම විපතක් සිදුවුණේ මීරියබැද්දේය. ඒ වෙනකොට ගිය ආණ්ඩුවේ රැස් බබළමින් තිබ්බ කාලයයි. 2004 සුනාමි ව්‍යසනයෙන් පසු සිදුවූ දැවැන්තම ස්වාභාවික විපත වූයේ කොස්ලන්ද, මීරියබැද්ද වතු යායේ සිදුවූ මහා නාය යෑමය. පවුල් 150ක් පමණ වෙසෙන කිලෝමීටරයක් පමණ පුළුල් බිම් තීරයක් එයින් විනාශයට පත්විය. 200කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වූ බැව් මුලදී වාර්තා වුවද පසුව ආණ්ඩුව විසින් එම සංඛ්‍යාව 34ක් බව කීවේය. මළ සිරුරු බොහොමයක් මඩ සහ පස්වලට යටව අතුරුදන් වූ අතර කාමර 20ක් බැගින් බෙදා තිබූ දිගු 'ලැයිම්' 7ක් එක් හින්දු කෝවිලක් සහ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන 2ක් පොළවට සමතලා විය. අන්තිමට ආණ්ඩුව මළ සිරුරු සොයන එක පවා අත්හැර දැම්මේය.

ඒ දිනවල ආණ්ඩුව පුරාජේරු කීවේ ඔවුන්ට සහන සලසන්න විපක්ෂය වුවමනා නෑ කියාය. ජීවිත හැර සෙසු සියල්ල දෙන බවට ඒ කාලේ ආණ්ඩුව පොරොන්දු විය. ඒ දිනවල ජනපති මහින්ද ඒ ප්‍රදේශයේ සංචාරය කරමින් අනතුරින් දිවි ගලවා ගත්තවුන් නව නිවාස ක්‍රමයක නැවත පදිංචි කරවන බවට පොරොන්දු විය. ඒත් ඒක සිහිනයක් පමණක් විය. ඒ වකවානුවේ ඇමැති ආරුමුගම් තොණ්ඩමාන් විපත සිදුවූ දිනට පසුදින මීරියබැද්දට පැමිණ තෙමසක් තුළ නිවාස සාදා දෙන බවට පොරොන්දු විය. ඒ සියලු පොරොන්දු බොරු විය.

ඒ විපතින් අවතැන් වූවෝ අවුරුද්දක් යනතුරු රඳවා තිබුණේ අවතැන් කඳුවුරුවලය. තාමත් ඔවුන්ගේ ජීවිත අවතැන්ය. වත්මන් ආණ්ඩුව වගකීම් විරහිත යැයි පාරම්බාන්නේ එහෙම ඉතිහාසයක් ඇති උදවියය. දැන් කිඹුල් කඳුළු හෙළන විපක්ෂය උජාරුවෙන් අමතක කරන අතීතය ඔක්කාරෙට එනතරම් අවලස්සන එකක්ය. තමන්ගේ අර්ථ සාධක අරමුදල සුරක්ෂිත කරදෙන්නැයි ඉල්ලූ නිදහස් වෙළෙඳ කලාපයේ කම්කරුවන්ට වෙඩි තිබ්බේ ඒ අයය.
'කුණු කන්දක ප්‍රශ්නයක් සමූහ මිනීවළකට පත්වන තුරු විස¼දාගන්නට නොහැකිවීම ඉතාම ඛේදනීය තත්ත්වයක්. මහා බෝම්බයක් දාපු වෙලාවෙ ඇෆ්ගනිස්තානයෙ මැරුණෙ 36 දෙනයි. කුණු කන්දක් හේතුවෙන් ජනතාව 30කට වැඩි ප්‍රමාණයක් මිය ගිහින්. ආණ්ඩුව දැන්වත් මේ ගැන ක්‍රියාත්මක විය යුතුයි.'
මෙහෙම කියන හිටපු නායකයන්් ලේසියෙන් අමතක කරන්නේ ඒ කාලේ කරපු දේවල්ය.

2013 අගෝස්තු මස පළමුවැනිදා රතුපස්වල වතුර පොදක් ඉල්ලූ ජනයාට වෙඩි තබන අතරේ උගන්ඩාවට වතුර දුන්නේ ඒ අයය. තිදෙනකු මියගොස් මාධ්‍යවේදීන් ඇතුළු 39කට අධික පිරිසකට බරපතළ තුවාල සිදු කළ ම්ලේච්ඡ අපරාධය කළේ ඒ ආණ්ඩුවය.
'ජල ප්‍රශ්නයට ආණ්ඩුව විසඳුමක් ලබාදී තිබියදීත් දේශපාලන පිපාසයෙන් පෙළෙන පිරිසක් ජනතාව ප්‍රකෝප කර වීදි බස්සවා ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා. මෙය ජල ප්‍රශ්නයකට වඩා දේශපාලන ප්‍රශ්නයක් කරගෙන තිබෙන ආකාරය ඇතැම් පිරිස් කළ කතා බහෙන් සහ හැසිරීමෙන් මනාව පිළිබිඹු වෙනවා' කියා එවක ඇමැති ඩලස් අලහප්පෙරුම කීවේය.

(2013 මාර්තු 8 'දිනමිණ')
එදා ප්‍රහාරය වෙනතකට හරවන්න ඒ අය කතා කළේ එහෙමය. දැන් උපාසක ලීලාවෙන් 'මීතොටමුල්ල' ගැන විලාප තියන්නේ ඒ සියල්ල මතක පොතෙන් ගලවා දමාය.
2016 ගංවතුරක් ආවේය. ඒ වෙනකොට හිටපු ආණ්ඩුව කියමින් හිටියේ තම ආණ්ඩුව කොළඹ සුරපුරයක් කළා කියාය. කවදාවත් කොළඹ යටවෙන්නේ නැතැයි පාරම් බෑවේය.
අන්තිමට සුරපුරය අවා පුරයක් විය.

ගංවතුර තත්ත්වය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කය තුළ පවුල් 33,000කට අයත් පුද්ගලයෝ 1,05,000ක් සිය නිවාසවලින් ඉවත් වූහ. වැඩිම බලපෑමක් එල්ල වූයේ කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටය. එහි ජීවත් වූ පවුල් 20,000කට අයත් පුද්ගලයෝ 80,000ක් පමණ ගංවතුරෙන් පීඩාවට පත් වූහ. නායයෑම් හා ගංවතුර හේතුවෙන් රට පුරා 84දෙනකු පමණ මියගිය අතර අතුරුදන් වූ සංඛ්‍යාව 120ක් පමණ විය.
ඒවා සිද්ධ වුණේ ආශ්චර්යවත් ආණ්ඩුව හැදූ රටේය. හරි සැලසුමක් තිබ්බා නම් ඔය විනාශය වෙන්නේ නැත. දවසින් දවස කුණු ගොඩගැහෙන විට අධිකරණය නියෝග කළේ මීතොටමුල්ලට කුණු නොදමන ලෙසය. ඒ කාලේ ඒ නියෝග තුට්ටුවකට මායිම් කළේ නැත.

දැන් පුරසාරම් ‍ෙදාඩවන්නේ මේ දේශපාලන අවස්ථාවාදීන්ය.
'දේශප්‍රේමියෝ හැමවිටම තම මවුබිම වෙනුවෙන් 'මැරෙන' බව කියති. එහෙත් ඔවුහු මවුබිම වෙනුවෙන් 'මරන' බව කිසිවිටෙකත් නොකියති, කියා බර්ට්‍රම් රසල් කියා තිබේ. ඉතිහාසයේ මේ කතාව කාට ගැළපේදැයි කල්පනා කිරීම වටී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්