මාරු මණ්ඩල අනුමතිය නැතිව වෛද්‍යවරයකු පත් කළාට විරුද්ධව වෛද්‍යවරු වැඩ වරති

  👤  2481 readers have read this article !
By mawbima 2017-04-21

ජේ. ටී. ද සිල්වා

හිඟුරක්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට අවිධිමත් ලෙස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියකු වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් මාරු මණ්ඩල අනුමැතියක් නොමැතිව වෛද්‍යවරයකු පත් කිරීමට විරුද්ධව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සියලුම රෝහල්වල අද (21දා) වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බවත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
පොළොන්නරුව මහ රෝහල, මැදිරිගිය මූලික රෝහල ඇතුළු සියලුම සෞඛ්‍ය ආයතනවල මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව එම සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා පැවැසීය.

පෞද්ගලික හිතවත්කම් මත දුන් මෙම අවිධිමත් තාවකාලික මාරුව වහාම අවලංගු කරන ලෙස තම සංගමය කළ දැනුම්දීමකට අනුව, ඒ සඳහා සෞඛ්‍ය ලේකම්වරයාගේ එකඟතාව ලැබුණු බවත්, මේ වන විට එම ස්ථාන මාරුව අවලංගු කර සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර ඇති නමුත් අමාත්‍යාංශයේ එම නියෝග පවා මායිම් නොකොට තම පෞද්ගලික හිතවත්කම් මත පොළොන්නරුව දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරීන් දිගින් දිගටම එම අවිධිමත් මාරුව අවලංගු කිරීම ප්‍රතික්ෂේප කරමින් සිටින බව වෛද්‍ය නවීන් ද සොයිසා අවධාරණය කරයි.

දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කෙරෙන මෙම වර්ජනය තුළින් ජනතාවට සිදුවන අපහසුතාවලට මෙම සෞඛ්‍ය බලධාරීන් ඍජුවම වගකිවයුතු අතර, මෙම අවිධිමත් ස්ථාන මාරුව අවලංගු කර ජනතාවට සිදුවන අපහසුතාවන් වළක්වා ගත හැකි බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.
දිස්ත්‍රික්කය තුළ රෝහල්වල හදිසි සේවා කටයුතු මෙම වර්ජන කාලයේදී අඛණ්ඩව පවත්වාගෙන යන බව එම සංගමයේ ලේකම්වරයා පවසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්