ගැබිනි බිරියත් එක්ක යතුරුපැදියේ ගිහින් ගංජා වික්ක තරුණයා මාට්ටු

  👤  2472 readers have read this article !
By mawbima 2017-04-21

අනුරාධපුර - මහේෂ් වි‍ෙජිසූරිය

ගැබිනි බිරිය පලිහක් ලෙස යොදාගෙන පොලිසියට වෙට්ටු දමමින් ගංජා අලෙවි කිරීමේ ජාවාරමක් සිදුකළ බව කියන තරුණයකු ගංජා පැකට් 94ක් සමඟ කටහගස්දිගිලිය පොලිසියේ නිලධාරීන් විසින් පෙරේදා (19දා) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු කහටගස්දිගිලිය පොලිස් වයමේ මහවැව කොහොඹගස් හන්දිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකි. ඔහුගේ ගැනුම්කරුවන් දුරකතන ඇමතුමක් ලබාදුන් විගස දරුවා ලැබීමට සිටින බිරිය සමඟ යතුරු පැදියෙන් අදාළ ස්ථානයට ගොස් ගංජා අලෙවි කරන බව පොලිසිය අනාවරණය කරගෙන තිබුණි.
සැකකරු පොලිසිය මඟහැරීම සඳහා දරුවා ලැබීමට සිටින බිරිය පලිහක් ලෙස යොදාගෙන ඇති බවත් බිරියගේ කළමනා සහිත බෑගයක සූක්‍ෂ්මව ගංජා පැකට් සඟවාගෙන සිටින බවත් පොලිසිය පැවැසුවේය.

සැකකරු සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු මත උපාය දූතයකු යොදවා ගංජා පැකට්ටුවක් ඇණවුම් කළ අවස්ථාවේ ඔහු කුඩා බෑගයක දමාගෙන කහටගස්දිගිලිය නගරයට ගංජා රැගෙන ආ බවත් ඒ අවස්ථාවේ සැකකරු පොලිස් භාරයට ගෙන සිදුකළ පරීක්‍ෂාවේදී කුඩා බෑගයේ ගංජා පැකට් 94ක ප්‍රමාණයක් තිබූ බව පොලිසිය පැවැසුවේය.
සැකකරු පොලිස් අත්අඩංගුවට පත්වන අවස්ථාවේත් ගැබිනි බිරිය ඔහු ආසන්නයේ සිටි බව පොලිසිය පැවැසීය. එක් ගංජා පැකට්ටුවක් රුපියල් 500ක පමණ මුදලකට සැකකරු අලෙවි කරන බවත් පොලිසිය සැකකරු අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ගංජා පැකට් 94ක් සන්තකයේ තබාගත් බවත් පිළිගෙන තිබේ. ඒ අනුව දඬුවම් නියම කිරීම මහෙස්ත්‍රාත්වරයා විසින් පසුවට කල් තැබීය. කහටගස්දිගිලිය පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක අබේරත්න මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්‍ෂක අබේසේකර, පොලිස් සැරයන් වීරනායක (24794), පොලිස් කොස්තාපල්වරුන් වන ඉලංගසිංහ (47818), ධර්මරත්න (47816), දිසානායක (42229), විජේසුන්දර (45987) යන නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්