අවුරුදු උත්සවයේදී සැඟවුණු අමුත්තා ලෙස පුතා තම පියාව පෙන්නලා

  👤  2457 readers have read this article !
By mawbima 2017-04-21

හසලක - සුනිල් ඉහළගෙදර

සිංහල හා හින්දු අවුරුද්ද වෙනුවෙන් පැවැති අවුරුදු උළෙලකදී සැඟවුණු අමුත්තා තේරීමේ තරග ඉසව්වේදී සැඟවුණු අමුත්තා තමන් බවට සිය පුතාට පවසා පුතා තම පියාව නාඳුනන අයකු ලෙසින් අඟවා තමන් සැඟවුණු අමුත්තා සොයාගත් බව පැවැසීම නිසා එම තරගය අවලංගු කිරීමට සංවිධායක මණ්ඩලයට සිදුවූ පුවතක් මහනුවර ප්‍රදේශයේ ගම්මානයකින් වාර්තා විය.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය. 2017 අලුත් අවුරුද්ද වෙනුවෙන් මහනුවර නගරයට නුදුරු ගමක ස්වේච්ඡා සංවිධාන කිහිපයක් එක්ව ගැමියන්ගේ ද සහාය ලබාගෙන අවුරුදු උළෙලක් සංවිධානය කර තිබිණි.
ජාතික ක්‍රීඩාවලට මුල්තැනක් දෙමින් පැවැති මේ උත්සවයේ නිවේදකයා විටින් විට සැඟවුණු අමුත්තා පිළිබ¼දව ප්‍රකාශ කරමින් ඔහු සොයා දුන් කෙනකුට වටිනා තෑග්ගක් හිමිවන බව පැවැසීය.

සාමාන්‍යයෙන් සැඟවුණු අමුත්තා නම් කරනුයේ උත්සවයේ අවසාන භාගයේ වීම විශේෂත්වකි. සැඟවුණු අමුත්තා නම් කරනුයේ ඉතා රහසිගතවය. ඔහු ගැන දන්නේ නිවේදකයා සහ තවත් අයෙක් හෝ දෙදෙනෙකි.
මෙම උළෙලේදී ද සැඟවුණු අමුත්තා නම් කළේ සවස 3.00ට පමණය. ප්‍රධාන සංවිධායකවරයා පුද්ගලයන් කිහිපදෙනකු වෙත ගොස් කවුරුන් හෝ අයෙකු තමන්ව සැඟවුණු අමුත්තා දැයි විමසුවා දැයි දැනගෙන එසේ නොවුණු බව තහවුරු කර ගැනීමෙන් පසු ගමේ එතරම් ජනප්‍රිය නොවූ පුද්ගලයකු සැඟවුණු අමුත්තා ලෙසින් නම් කර එය රහසිගතව තබා ගත්තේ තවත් අයෙක් එය දැන ගැනීම සුදුසු නොවන බව දන්නා හෙයිනි. පුද්ගලයා නම් කිරීමේදී සංවිධායකවරයා ඔහුට පැවැසුවේ තමන් කවුරුන්ද යන්න පිළිබඳව කිසිවකුට නොකියන ලෙසත් අඩු තරමේ තම දරුවකුට හෝ හිතවතකුටවත් නොකිය ලෙසත් දැනුවත් කිරීමක් ද කරමිනි.
සැඟවුණු අමුත්තා එසේ නම් කිරීමෙන් පසු නිවේදකයා නැවත ඔහු පිළිබඳව මතක් කිරීමක් කළේය. ගතවූයේ අඩ හෝරාවක පමණ කාලයකි. අවුරුදු 15ක් පමණ වයසැති පිරිමි දරුවකු පැමිණ, තමන් සැඟවුණු අමුත්තා සොයා ගත් බව පවසා ඔහුට ලබා දී තිබූ රහසිගත ලිපියද රැගෙනවිත් නිවේදකයාට ඉදිරිපත් කරන ලදී. එම ලදුපත අතට ගත් නිවේදකයා මේ ඔයාගේ තාත්තාම දැයි විහිළුවට මෙන් විමසා ඇත. එය එසේ නොවන බවත් තමන් ඔහු කිසි දිනක දැක නැති බවත් පවසා ඇත. ඒ සමඟම නිවේදක මහතා පැවැසුවේ මෙතෙක් සෙවූ සැඟවුණු අමුත්තා වේදිකාවට ගොඩ වෙන බවකි.

එතෙක් සැඟව සිටි අමුත්තා වේදිකාවට ගොඩ වෙනවාත් සමඟම උත්සව භූමියෙන් "හූ" හඬක් සමඟම ප්‍රකාශ වූයේ ඔය ඔය ළමයාගේ තාත්තා යැයි කියාය. එය ඇත්තද යැයි නිවේදක මහතා දරුවාගෙන් විමසූ විට "ඔව්" යැයි පැවැසූ විට නැවතත් උත්සව භූමියෙන් ආ "හූ" හඬත් සමඟම පිය පුතුන්ට වේදිකාවෙන් බැස යෑමට සිදු විය.
"ඔය සරම ගලවා ඔතන දාලා යන්න" යැයි ද ජනතාව පැවැසුවෙන් සැණෙකින් ලැජ්ජාවට සහ අපහසුතාවට පත් පිය පුතු දෙදෙනා වේදිකාවෙන් බැස නොපෙනී ගියහ. පසුව එම තරග ඉසව්ව අවලංගු කර එම තරගය සඳහා වෙනත් පුද්ගලයකු නම් කිරීමට සංවිධායකයන්ට සිදුවිය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon