සිංහල අලුත් අවුරුද්දට පෙර වගා හානි දෙන්න ජනපති පොරොන්දු වුණා

  👤  2464 readers have read this article !
By mawbima 2017-04-21

අනුරාධපුර - මහේෂ් විජේසූරිය

ජනාධිපතිවරයා ශ්‍රී මහා බෝධිය අසල පැවැති අලුත් සහල් මංගල්‍යයට සහභාගි වූ අවස්ථාවේ අලුත් අවුරුද්දට පෙර වගා හානි වන්දි ලබාදෙන බව පැවැසූවත් නියඟයෙන් පීඩාවට පත් වූ මහවිලච්චියේ ගොවි ජනතාවට වගා හානි වන්දි තවම ලැබී නැති බව කියමින් අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය සභාවේ හිටපු එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රි හා ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ හිටපු ආසන සංවිධායක ආර්. අනුර බණ්ඩාර නොහොත් අමුඩයා මන්ත්‍රි පේමඩුව හන්දියේ පිහිටි විශාල ගසක අට්ටාලයක් මත නැඟී පෙරේදා (19දා) උදෑසන අඛණ්ඩ උපවාසයක් ආරම්භ කළේය.

'මේ උපවාසය අහිංසක ගොවි ජනතාව වෙනුවෙන් රුපියල් 10,000 ඉල්ලා' යනුවෙන් සඳහන් බැනරයක් ද ඔහු වීර ගසේ එල්ලීමෙන් පසුව හිටපු මන්ත්‍රිවරයා (අමුඩයා) සිය සුපුරුදු කළු පැහැති අමුඩයෙන් සැරසී වීර ගසේ අඩි දහයක් පමණ ඉහළින් පිහිටි දෙබල මත අට්ටාලයක් සාදා ඒ මත නැඟී විරෝධතාවක් දියත් කළේය.
එහිදී අදහස් දැක්වූ අමුඩයා මන්ත්‍රිවරයා ජනාධිපති අලුත් සහල් මංගල්‍යයට ශ්‍රී මහා බෝධීන් වහන්සේ හමුවට පැමිණි අවස්ථවේ පොරොන්දු වුණා අලුත් අවුරුද්දට පෙර ගොවීන්ට වගා හානි සඳහා ලබාදෙන රුපියල් 10,000 වන්දිය ලබාදෙනවා කියලා. නමුත් මහවිලච්චියේ ගොවි ජනතාවට මේ වන තුරු ඒ වන්දිය ලැබිලා නැහැ. අසරණ ගොවීන්ට වගා හානි වන්දිය දෙනතුරු මම උපවාසයේ යෙදෙනවායි. ඔහු පැවැසුවේය.

විරෝධතාව පැවැති ස්ථානයට පැමිණි මහවිලච්චිය ගොවිජන සේවා නිලධාරිනි දර්ශිකා සෙනෙවිරත්න මෙනෙවිය කියා සිටියේ පළාතේ සියලුම ගොවීන්ගේ තොරතුරු අදාළ අංශ වෙත ලබා දී තිබෙන නිසා එම මුදල් කඩිනමින් ලැබෙන බවයි. එම නිසා විරෝධතාව අත්හරින ලෙස මන්ත්‍රිවරයාගෙන් ඇය ඉල්ලා සිටියත් ඔහු එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළේය.

අනුරාධපුර සහකාර ගොවිජන සේවා කොමසාරිස් අසංක සෝමරත්න මහතා උපවාසයේ නිරත වූ මන්ත්‍රි සමඟ දුරකතන සංවාදයේ යෙදුණු අතර පළමු අදියරට ගොවීන්ට වන්දි ලබාදී අවසන් කර තිබෙන බව පැවැසුවේය. දෙවන අදියර වශයෙන් අද (21දා) ගොවීන්ගේ ගිණුම්වලට මුදල් බැරවෙන බව ද ඒ මහතා පැවැසූ අතර එතෙක් විරෝධතාව නතර කරන ලෙස හිටපු මන්ත්‍රිවරයාගෙන් ඉල්ලා සිටියත් මන්ත්‍රිවරයා එම ඉල්ලීමද ප්‍රතික්‍ෂේප කර ගොවීන්ට වන්දි ලැබෙන තුරු උපවාසය සිදුකරන බව පැවැසුවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්