දරු දුක වාවගන්න බැරිව පුතුගේ අවමඟුලේදී මවගේ හදවත නතර වෙලා

  👤  2472 readers have read this article !
By mawbima 2017-04-21

අනුරාධපුර - මහේෂ් විජේසූරිය

පුත්‍රයාගේ වියෝව දරා ගැනීමට නොහැකි වී ඔහුගේ දේහයේ අවසන් කටයුතු සිදුකිරීමට මතක වස්ත්‍ර පූජා කරමින් සිටියදී දරු සෙනෙහස වාවාගත නොහැකිව හදවත නතරවීමෙන් සය දරු මවක් මියයෑමේ කනගාටුදායක පුවතක් අනුරාධපුර සාලියපුර මාන්කඩවල ප්‍රදේශයෙන් වාර්තා විය.
පසුගියදා අනුරාධපුර සාලියවැව මාන්ඩකවල පදිංචි පෞද්ගලික ආයතනයක විධායක ශේ‍ර්ණියේ රැකියාවක නිරත වූ විවාහක එක්දරු පියකු වූ 33 හැවිරිදි ප්‍රියංකර ප්‍රියදර්ශන මහතා හදිසි හෘදයාබාධයකින් මිය යෑමත් සමඟම ඔහුගේ මව වූ හේවාගමගේ දයා මාලනී (60) සයදරු මව සිය පුත්‍රයාගේ හදිසි වියෝව දරාගැනීමට නොහැකිව දැඩි මානසික කම්පනයට ලක්වී සිටි බව වාර්තා විය.

සිය කුසින් මෙලොවට බිහිකළ දරුවන් උපන්ගෙයි පණ පිටින් වළදමන, මහමඟ දමා යන, ගෙල මිරිකා, මරා දමන මවුවරුන් සිටින යුගයක සැබෑ දරු සෙනෙහස හදවතේ ඇති මවුවරුන් පිළිබඳව අසන්නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. බුදු සමයේ කිසාගෝතමී මියගිය දරුවා ඇකයේ තබාගෙන අබ සොයා නොමළ ගෙයක් ගාණෙ ගිය කතා වස්තූන් අප අසා ඇතත් සිය කුසින් වැදූ දරුවා අවසන් ගමන් යෑමටත් පෙර දෙනෙත් පියාගත් මවක් පිළිබඳව අසන්නට ලැබුණේ බොහෝ කලකට පසුවීම විශේෂත්වයකි.
පස්වන දරුවාගේ හදිසි වියෝවත් සමඟින් ඇය දැඩි කම්පනයට පත්ව සිට ඇති අතර පුත්‍රයාගේ දේහය අසලට වී මගේ පුතේ මම දැන් ජීවත්වෙලා වැඩක් නෑ. මමත් පුතත් එක්කම යන්න එනවා යනුවෙන් පවසමින් ඇය හඬා වැටෙමින් සිටි බව පවුලේ ඥාතීහු පැවැසූහ. මියගිය දරුවාගේ අවසන් කටයුතු සිදුකිරීමට පෙර නිවෙසට වැඩම කළ මහා සංඝරත්නය මතක වස්ත්‍ර පූජාව සිදුකරද්දී පවුලේ ඥාතීන් සමඟ මතක වස්ත්‍ර පූජාවට එක්ව සිටි තරුණයාගේ මව එම ස්ථානයේ සිහිසුන්ව ඇද වැටී තිබේ.

රැස්ව සිටි පිරිස තරුණයාගේ මවට වියෝව දරා ගැනීමට නොහැකි වී සිහිසුන් වන්නට ඇතැයි සිතා ඇය එම ස්ථානයෙන් ඉවතට ගෙන මුහුණට ජලය ඉසිමින් ප්‍රකෘති තත්ත්වයට ගැනීමට උත්සාහ කළත් ඇය ප්‍රකෘති තත්ත්වයට පත්නොවීම නිසා තරුණයාගේ අවසන් කටයුතුවලට සහභාගිව සිටි වෛද්‍යවරයකු ඇයගේ නාඩි පරීක්‍ෂා කර තිබේ. ඇයගේ නාඩි පරීක්‍ෂාවේදී එහි ක්‍රියාකාරිත්වය නතර වී ඇති බව වටහාගත් වෛද්‍යවරයා වහාම ඇයව ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්‍ෂණ රෝහලට රැගෙන යන ලෙස අවසන් කටයුතු සඳහා රැස්ව සිටි පිරිසට දන්වා තිබේ. වහාම ක්‍රියාත්මක වූ පවුලේ ඥාතීන් ඇයව අනුරාධපුර ශික්‍ෂණ රෝහලට රැගෙන ගොස් ඇතත් ඇයව පරීක්‍ෂා කළ වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඇය මියගොස් සිටින බවයි. සිය සහෝදරයාගේ වියෝව දරා ගැනීමට නොහැකිව මවට සිදුවූ ශෝචනීය මරණය පිළිබඳව සිතා ගැනීමට නොහැකි වූ පුතුන් දෙදෙනා හා දියණියක ද දැඩි මානසික කම්පනයට ලක් වී ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. සයදරු මව කුමන හේතුවකින් මිය ගියේද යන්න නිශ්චිතව අනාවරණය කර ගැනීම සඳහා ඊයේ (20දා) අනුරාධපුර ශික්‍ෂණ රෝහල් මෘත ශරීරාගාරයේදී පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වීමට නියමිතව තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon