මාතර කිරිකැටියන් දෙදෙනකුගේ අවාසනාවන්ත ඉරණම

  👤  2537 readers have read this article !
By mawbima 2017-04-21

මාතර - එම්. සී. දුශාන්ත

දින දාහතරක් වයසැති සිඟිති බිලිඳකු හා දින හතළිහක් වයසැති බිලිඳියක එකම දින මවුකිරි ශ්වසන මාර්ගයට ඇතුළු වීමෙන් හා කොට්ටයට නාසය තද වී සෙම හිරවීමෙන් මරණයට පත්වීමේ අවාසනාවන්ත සිද්ධීන් දෙකක් මාතරින් වාර්තා වේ.
මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ තල්අරඹ පදිංචි දින හතළිහක් වයසැති ඉපටවෙල කංකානම්ගේ ලහන්යා නම් සිඟිති දැරියක හා ගන්දර පදිංචි දින දාහතරක් වයසැති සිඟිති පිරිමි දරුවෙකි.

2017 මාර්තු 10 වැනිදා මෙලොව එළිය දුටු සිඟිති ලහන්යා එම පවුලේ පළමුවැනි දරුවා වේ. ඇගේ මව විසින් සුපුරුදු පරිදි ඇයට මවුකිරි ලබාදී නිදි කරවා ඇති අතර ඉන්පසු පස්වරු තුනට පමණ දරුවා සීතල වී සිටි නිසා වහාම කඹුරුගමුව රෝහලට ගෙන ආ බවත් එහිදී වෛද්‍යවරයකු විසින් දැරිය පරීක්‍ෂා කර බලා ඇය මියගොස් ඇති බව පවසා ඇත. ලබාදුන් මවුකිරි ශ්වසන මාර්ගයට ඇතුළු වීම නිසා මෙම මරණය සිදුවී ඇති බවට මරණ පරීක්‍ෂණයේදී හෙළිවිය.

දින දාහතරක් වයසැති තවමත් නමක් නොමැති සිඟිති දරුවා අනෙක් දරුවාය. සිද්ධිය වූ දින උදෑසන මෙම දරුවාට මවුකිරි ලබාදී නිදිකර ඇති බවටත් පසුව බලද්දී දරුවා අසනීප තත්ත්වයකට පත්වී ඇති බව දැනුණ නිසා මාතර මහ රෝහලට රැගෙන ආ බවත් බාහිර රෝගී අංශයේ වෛද්‍යවරියක දරුවා පරීක්‍ෂා කොට දරුවා මියගොස් ඇතැයි පැවසූ බවත් පවසා ඇත. මවුකිරි ඉරීමේදී බඩේ එකතු වන වාතය පිට කිරීම සඳහා දරුවා මුණින් අතට තබා තිබියදී කොට්ටය නාසයට තද වීමෙන් ඇති වූ හුස්ම හිරවීමෙන් මෙම මරණය සිදුවී ඇති බව මරණ පරීක්‍ෂණයේදී අනාවරණය විය.

මෙම මරණය සම්බන්ධ හදිසි මරණ පරීක්‍ෂණය මාතර හදිසි මරණ පරීක්‍ෂක ලලිත ද සිල්වා මහතා විසින් පැවැත්වූ අතර පශ්චාත් මරණ පරීක්‍ෂණය අධිකරණ වෛද්‍ය විශේෂඥ සමිත අඹේපිටිය මහතා විසින් මාතර මහ රෝහලේදී පවත්වා ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්