පොලිස් රාලහාමි මැරුවාද? සියදිවි නසාගත්තාද?

  👤  2419 readers have read this article !
By mawbima 2017-04-21

අනුරාධපුර - මහේෂ් විජේසූරිය

රාජකාරි පිස්තෝලය සමඟ දින දහතුනක කාලයක් අතුරුදන්ව සිටි සාලියවැව පොලිස් වසමේ නීලබැම්ම ප්‍රදේශයේ මහ කැලෑවක අබිරහස් අන්දමින් මියගොස් සිටියදී රාජාංගණය පොලිසියේ නිලධාරීන් පිරිසක් සොයාගත් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ මෙහෙයුම් අංශයේ සේවය කළ කොස්තාපල්වරයාගේ මරණයට හේතුව සියදිවි නසාගැනීමක්ද නොමැතිනම් ඝාතනයක්ද යන්න තවම අනාවරණය වී නැති බව පරීක්ෂණ සිදුකරන සාලියවැව පොලිසිය පවසයි.
මියගොස් සිටියදී සොයාගත් පුද්ගලයා අනුරාධපුර මූලස්ථාන පොලිසියට අනුයුක්තව සේවය කළ ඔරුප් ගමයලාගේ ලලිත් කුමාර (42282) නමැති පොලිස් කොස්තාපල්වරයා බව රාජාංගණය පොලිසිය තහවුරු කරගෙන තිබිණි. ඔහු කරදනයාගම, වීරපොකුණ, බිංගිරිය ස්ථිර පදිංචිකරුවකු වූ කිඩවරක්කුළම මැදවච්චිය ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි 48 හැවිරිදි අවිවාහක අයකු බව පොලිසිය පැවසුවේය.

මියගිය පොලිස් කොස්තාපල්වරයාගේ සිරුරේ අස්ථි කොටස් හා කැබලිවලට කැඩී තිබූ හිස්කබලේ කොටස් පුත්තලම මහෙස්ත්‍රාත්වරයාගේ නියෝග මත පුත්තලම රෝහලේ මෘතශරීරාගාරයට ගෙනයෑමෙන් අනතුරුව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා යොමුකර තිබිණි.
කොස්තාපල්වරයාගේ සිරුර නරක්වී කබරයන් ඇදගෙන ගොස් කාදැමීම නිසා පරීක්ෂණ කටයුතුවලට බාධා එල්ලවී තිබුණු අතර ඔහු මියයෑමට හේතුව හිසට වෙඩි තබා ගැනීමක්ද එසේත් නැතිනම් කිසිවකු වෙඩි තබා මරා දැමුවේද යන්න තහවුරු කර ගැනීමට පුළුල් විමර්ශනයක් සිදුකළ යුතුව තිබෙන බව පොලිසිය පැවසුවේය.
අතුරුදන් වූ කොස්තාපල්වරයාගේ හිස් කබල කැබලිවලට කැඩීයෑම පිළිබඳව පොලිසියට සැක පවතින අතර දුරක සිට වෙනත් අයකු වෙඩි ප්‍රහාරය එල්ලකර ඇත්ද යන්නත් පරීක්ෂණ කණ්ඩායම්වලට සැකයක් මතුවී තිබෙන බවද වාර්තා විය.

ඔහු මියගිය ස්ථානයේ තිබී රාජකාරිය සඳහා නිකුත් කළ පතරොම් සහිත ස්වයංක්‍රිය පිස්තෝලය ඔහුගේ රාජකාරි හැඳුනුම්පත සහිත මුදල් පසුම්බිය, හිස් මත්පැන් බෝතල්, සෝඩා බෝතලයක්, සෙරෙප්පු දෙකක් පොලිසිය සොයාගෙන තිබූ අතර පිස්තෝලයේ පතරොම් නැවතත් ස්වයංක්‍රිව ක්‍රියාත්මක වී (ලෝඩ්වී) තිබූ බව පොලිසිය පැවසුවේය.
ඉකුත් 17 වැනිදා කලාවැවෙහි වැලි ගොඩදමන පුද්ගලයකු පිස්තෝලය වැටී තිබූ ස්ථානයට මඳක් අෑතින් මියගිය පුද්ගලයකුගේ අස්ථි කොටස් තිබෙන අයුරු දැක ඒ පිළිබඳව රාජාංගණය පොලිසියේ ස්ථානාධිපතිවරයාට දුරකථනයෙන් දන්වා තිබිණි.
එහි ගිය පොලිස් නිලධාරීන් කැලෑවේ වැටී තිබූ මියගිය කොස්තාපල්වරයාගේ මුදල් පසුම්බිය පරීක්ෂාවට ලක්කළ අවස්ථාවේ එය දින 13කට ඉහතදී අතුරුදන් වූ පොලිස් කොස්තාපල්වරයාගේ බව තහවුරු කරගෙන තිබිණි.

ඔහු පසුගිය අප්‍රේල් 04 වැනිදා උසාවි රාජකාරියකට යෑම සඳහා පිස්තෝලයක් අවශ්‍ය බව පවසා ස්වයංක්‍රිය පිස්තෝලය හා ජීව උණ්ඩ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අවි ගබඩාවෙන් ලබාගෙන අතුරුදන් වී තිබිණි.
කොස්තාපල්වරයාගේ අබිරහස් මරණය සම්බන්ධයෙන් වනාතවිල්ලුව සහකාර පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත අංශ කිහිපයක් පරීක්ෂණ සිදුකරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්