වකුගඩු ලෙඩ කරන ග්ලයිෆෝසේට් ලීටර් 32,000ක් හොරෙන් ගෙන්නලා

  👤  2388 readers have read this article !
By mawbima 2017-04-21

පහන් විජේසේකර,
සිදත් මෙන්ඩිස්

මෙරටට ආනයනය කිරීම තහනම් කළ රසායනික ද්‍රව්‍යයක් වූ ග්ලයිෆෝසේට් ලීටර් 32,000ක් අඩංගු බහාලුම් දෙකක් ග්‍රෑන්ඩ්පාස් රේගු අංගණයේ තිබියදී ශ්‍රී ලංකා රේගු නිවාරණ අංශය විසින් ඊයේ (20දා) සොයා ගන්නා ලදී.

ඉකුත් 15දා ර්ඉඋ ඊධ්ව්ඒ නමැති නෞකාවෙන් චීනයේ සිට මෙරටට ආනයනය කළ එම බහාලුම් දෙක සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර ග්ලයිෆෝසේට් රසායනය අඩංගු ලීටර් 200 බැරල් 160ක් ඊයේ රේගුව භාරයට ගැනීමට රේගු නිලධාරීහු කටයුතු කළහ.
කොළඹ, පිටකොටුව ප්‍රදේශයේ ව්‍යාපාරික ආයතනයක් වශයෙන් රේගුවට ප්‍රකාශ කොට "කාබනික සිලිකොන්" නමැති රසායනික ද්‍රව්‍යය ගෙන එන මුවාවෙන් මෙම ග්ලයිෆෝසේට් ලීටර 32,000 ආනයනය කර ඇත.

මෙරට වෙළෙඳපොළට ආනයනය කිරීමට තහනම් කර ඇති රසායනික ද්‍රව්‍යයක් බැවින් නීති විරෝධී ලෙස ගෙන ආ මේ ග්ලයිෆෝසේට් බැරල තොගයට නිශ්චිත මිල තක්සේරුවක් කළ නොහැකි බවත් මේවා නීති විරෝධී වෙළෙඳපොළේ (බ්ලැක් මාර්කට්) අධික මිලකට අලෙවි කළ හැකි බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක ධර්මසේන කහඳව මහතා පැවැසීය.

මෙම අවස්ථාවට පැමිණ සිටි රේගු අධ්‍යක්ෂ ජනරාල් චූලානන්ද පෙරේරා මහතා පැවැසුවේ සමාජයට අහිතකර මෙවැනි රාසයනික ද්‍රව්‍ය වෙළෙඳපොළට ගෙන්වන ව්‍යාපාරිකයන්හට උපරිම නීතිමය පියවර ගන්නා බවයි.

රේගු අධ්‍යක්ෂ ජනරාල් චූලානන්ද පෙරේරා මහතාගේ මඟ පෙන්වීම යටතේ නිවාරණ අංශයේ රේගු අධ්‍යක්ෂ ජේ. ඒ. ඩී. ඒ. පෙරේරා, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ බුද්ධදාස හා ප්‍රධාන නිවාරණ නිලධාරි විපුල මිනුවම්පිටිය යන මහත්වරුන්ගේ උපදෙස් මත ප්‍රධාන සහකාර නිවාරණ නිලධාරි බී. රත්නායක, සහකාර රේගු අධිකාරිවරුන් වන ජේ. ජී. අමිල සංජීව, දසනායක, කඹුරුගමුව, යූ. අයි. පෙරේරා, ජී. නාලක සහ අමරසිංහ යන නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වති.
ඡායා - දුමිඳු වනිගසේකර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්