වැරැදුණු තැන් සොයන්න විශේෂ කමිටුවක්

  👤  2389 readers have read this article !
By mawbima 2017-04-21

මීතොටමුල්ල කුණු කන්දේ ඇති වූ ඛේදවාචකය සැලකිල්ලට ගෙන එවැනි තත්ත්වයක් ඇතිවීමට හේතු,...ජීවිත විනාශ වනතුරු වගකීම් දරන ආයතන කටයුතු නොකිරීම හා වැරැදුණු තැන් සොයා බලා වාර්තා කිරීමට විශ්‍රාමලත් විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ කමිටුවක් පත්කිරීමට ජනාධිපතිවරයා තීරණය කොට තිබේ.
මසක් ඇතුළත එම වාර්තාව ලබා දිය යුතු බවටද නියම කරන බවද ජනාධිපතිවරයා පැවැසීය.
ජනමාධ්‍ය ආයතනවල ප්‍රධානීන් හා කර්තෘ මණ්ඩල ප්‍රධානීන් සමඟ ඊයේ ජනාධිපති මන්දිරයේ පැවැති හමුවේදී ජනාධිපතිවරයා මේ බව පැවැසීය.
මීතොටමුල්ල කුණු කන්දේ ඛේදවාචකයට අදාළ ප්‍රශ්නයට විසඳුමක් ලබාදීමට වගකිව යුතු නීතිමය බලය හා අයිතිය තිබෙන සියලු ආයතන වෙත මෙහි වගකීම පැවැරෙන බව දැඩිව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා පසුගිය කාලයේදී අදාළ ආයතනවල වගකිව යුත්තන් කැඳවා කුණු කන්දට විසඳුමක් ලබාදීම ගැනත්, තවදුරටත් විසඳුමක් දීමට ප්‍රමාදවීම ගැනත් උපදෙස් දුන් බවත් එම උපදෙස් ක්‍රියාත්මක නොකොට අදාළ ආයතනය හා පුද්ගලයන් කඹ අදිමින් සිටීම ගැනද ජනාධිපතිවරයා මේ හමුවේදී අනියමින් එම වගකිව යුත්තන්ටද චෝදනාවක්ද කළේය.

කුණු කන්දේ විපතට හේතුව සෙවීමට පත්කරන පරීක්ෂණ කමිටුවෙන් කිසියම් ආයතනයක් හෝ පුද්ගලයකු වැරැදිකරුවකු වන්නේ නම් ඔවුනට දඬුවම් දෙන්නේ දැයි මාධ්‍ය ප්‍රධානියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා පැවැසුවේ කිසියම් පුද්ගලයකු වරදක් කර ඇති බවට හා ඔවුන් සම්බන්ධයෙන් පරීක්ෂණ වාර්තාව කිසියම් නිර්දේශයක් කර තිබේ නම් ඒ නිර්දේශ අනුව පියවර ගන්නා බවයි.

කුණු කන්දේ සිද්ධියට අදාළ තොරතුරු ගැන දන්නා ඕනෑම අයකුට විශ්‍රාමික විනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පරීක්ෂණ කමිටුව හමුවේ සාක්කි දීමට අවස්ථාව තිබෙන බවද ජනපතිවරයා පැවැසුවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්