ගේල් ඊ20 ලකුණු 10,000 පසු කරයි

  👤  3269 readers have read this article !
By mawbima 2017-04-20

"සක්වළ ලොක්කා" ලෙස තමා විසින්ම හඳුන්වා ගන්නා බටහිර ඉන්දීය කොදෙව් ප්‍රහාරාත්මක වමත් පිතිකරු ක්‍රිස් ගේල් ඉන්දියන් ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) තරගාවලියට අදාළව පෙරේදා පැවැති තරගයකදී විස්සයි -20 ක්‍රිකට් කරළියේ ලකුණු 10,000 සම්පූර්ණ කළ ලොව පළමු ක්‍රීඩකයා බවට පත් විය.
ගුජරාට් ලයන්ස් කණ්ඩායමට එරෙහිව පැවැති එම තරගයේදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කරන ගේල් ආරම්භක පිතිකරු ලෙස පන්දු 38කදී ලකුණු 77ක් රැස් කරමින් රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායමේ ජයග්‍රහණයේ පෙරගමන්කරු බවට පත්වූ අතර එම සුපිරි ඉනිමේදී ගේල් දැවැන්ත හයේ පහර 7ක් හා හතරේ පහර 5ක් එල්ල කරමින් පිටිය දෙවනත් කළේය.

පෙරේදා තරගයට පිවිසෙන විට ගේල් තම විස්සයි -20 ලකුණු 10,000 සම්පූර්ණ කිරීම සඳහා ලකුණු 3ක් පිටුපසින් සිටි අතර එම තරගයත් සමඟින් මේ වන විට විස්සයි -20 තරග 290කට ක්‍රීඩා කර ඇති ගේල් ලකුණු 10,074ක් රැස් කිරීමට සමත්ව ඇත්තේ ලකුණු 40.62ක ඉනිමක සාමාන්‍යයක්ද රඳවා ගනිමිනි. ඔහු ඊට ශතක 18ක්ද එක්කර තිබීම විශේෂත්වයක් වන අතර පන්දුවට පහරදීමේ වේගය එක් පන්දුවකට 149.51ක් ලෙස රඳවා ගෙන තිබේ.
විස්සයි -20 තරගවලදී ලකුණු ලබා ගැනීම අනුව දෙවන ස්ථානයේ පසුවන නවසීලන්තයේ බේ‍රන්ඩන් මැකලම් මේ වන විට තරග 272කදී ලකුණු 7,596ක් රැස් කරගෙන සිටින අතර ඔහු පෙරේදා තරගයේ පරාජිත ගුජරාට් කණ්ඩායම නියෝජනය කරමින් පන්දු 44කදී හයේ පහර 7ක් හා හතරේ පහර 2ක් සමඟින් ලකුණු 72ක් රැස් කළේය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 2කට ලකුණු 213 ක් රැස් කිරීමට සමත් වූ අතර පිළිතුරු ලෙස ගුජරාට් ලයන්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 192ක් පමණි.
සටහන - කෝසල ගමගේ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්