කතරගම බියවැද්දූ මිනීමරු කිඹුලිය මැණික් ගඟ පීරා අල්ලාගනී

  👤  3373 readers have read this article !
By mawbima 2017-04-20

සපුමල් ජයසේන, කේ.ඩී. දේවප්‍රිය කතරගම, කතරගම - ඩී.එන්. කළුආරච්චි

කතරගම දේවාලය අසල මැණික් ගඟේ දියකපන වැල්ලේදී වනජීවී නිලධාරීන් විසින් ඊයේ (19දා) තවත් මිනී කන කිඹුලියක අල්ලා ගන්නා ලදී.
අඩි 9කට වඩා දිගකින් යුත් පුෂ්ටිමත්ව හොඳින් වැඩී ඇති කිඹුලියකි. කතරගම මැණික් ගඟේ බැතිමතුන් දිය නාන තොටුපොළ අසල මිනී කන කිඹුලන් 20ක් පමණ ගැවසෙන බව 'මව්බිම' පුවත්පත මඟින් පසුගියදා අනාවරණය කර තිබිණි. ඒ අනුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කතරගම අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් විසින් කිඹුලන් ඇල්ලීමේ මෙහෙයුමක් දියත් කරන ලද අතර එහි අධීක්ෂණ කටයුතු සිදු කරනු ලබන්නේ උෟව කලාපය භාර වනජීවී පශු වෛද්‍ය ආනන්ද ධර්මකීර්ති මහතා විසිනි.

පසුගිය සතියේ ආරම්භ කළ මේ මෙහෙයුමේදී ඊයේ අල්ලන ලද්දේ අඩි 10ක් පමණ දිගැති හැළ කිඹුලියකි. 2016දී මේ ස්ථානයේ සිදු කළ කිඹුලන් ඇල්ලීමේ මෙහෙයුමකදී කිඹුලන් 12ක් අල්ලා ඉවත් කර තිබූ අතර එම ස්ථානයේ සිදු කළ කිඹුල් පහරදීම්වලින් බැතිමතුන් තුන්දෙනකු මිය ගොස් අට දෙනකුට අත් පා අහිමිව තිබිණි. ඊයේ අල්ලන ලද හැල කිඹුල් විශේෂයට අයත් කිඹුලා වනජීවී නිලධාරීන් විසින් ලුණුගම්වෙහෙර
ජලාශයට මුදා හරින ලදී.

මෙම කිඹුලන් ඇල්ලීම වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ උපදෙස් මත උෟව පළාත් වනජීවී සහකාර අධ්‍යක්ෂ එම්.එච්. චිත්‍රසේන මහතාගේ මෙහෙයවීමෙන් කතරගම වනජීවී අඩවි ආරක්ෂක ඩබ්ලිව්. ඒ. සුනිල් කිත්සිරි යන මහත්වරුන් හා වනජීවී නිලධාරීන් රැසකගේ සහභාගිත්වයෙන් උෟව පළාත් පශු වෛද්‍ය ආනන්ද ධර්මසේන මහතාගේ අධීක්ෂණය මත
සිදු කෙරිණි.

ඡායාරූප - අකිල ජයවර්ධන

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්