ආරක්‍ෂාව ගැන සැලකිලිමත්වීමට මේ සිද්ධිය ජාතියටම පාඩමක්

  👤  3284 readers have read this article !
By mawbima 2017-04-20

හදිසි අවස්ථාවකදී ප්‍රශ්න කරමින් සිටීම නිවැරැදි ප්‍රතිපත්තිය නොවන බවද වසර ගණනාවක් පුරා මහජන විරෝධතා නිසා සහ මහජනයාගේ අනවබෝධය නිසා මීතොටමුල්ලේ ඛේදවාචකය සිදුවූ බව අනාවරණය වී ඇතැයිද යන්න නිවේදනයක් නිකුත් කරමින් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන පවසයි.
ඉකුත් අප්‍රේල් මස 5 වැනිදා "මීතොටමුල්ල කුණු කන්ද හේතුවෙන් නිවෙස් ගණනාවක් ආපදාවට ලක්වීම වාර්තා කිරීම" යන්න ශීර්ෂය සහිතව අංක 511 ඒ, දහම්පුර ග්‍රාම නිලධාරි එච්.එම්. කුමාර සිය අත් අකුරින් කොළොන්නාව ප්‍රාදේශීය ලේකම්වරයා වෙත ලිපියක් යවමින් මීතොටමුල්ල කුණු කන්ද ගිලා බැසීම හේතුවෙන් කුණු කන්ද පාමුල දහම්පුර දෙසින් නිවාස ගණනාවක් ආපදාවට පත්වී ඇති බව දන්වා යවා ඇත. එම ලිපිය සමඟම මුළුමනින්ම ආපදාවට ලක්වූ නිවාස පිළිබඳව නිවැසියන්ගේ තොරතුරු ලැයිස්තුවක්ද අමුණා යවා ඇති අතර ඒ සම්බන්ධයෙන් වහාම ක්‍රියා මාර්ගයක් ගත යුතු බවද සඳහන් කර යවා ඇත.

ග්‍රාමසේවක එච්.එම්. කුමාර මහතාගේ ලිපිය පදනම් කොට ගෙන කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් සුගත් සිසිර කුමාර මහතා විසින් මීතොටමුල්ල කුණු කන්ද හේතුවෙන් අවට භූමිය අස්ථාවර වීම නිසා නිවාස අනතුරට පත්වීම පිළිබඳව කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයාට ලිඛිතව දත්ත යවා ඇත. බී ජයසේන කුරේ _ 23/1 ඒ, දහම්පුර, බී.එන්. සංජීව කුරේ- 23/1 ඒ, දහම්පුර, එම්.ආර්. අනුර ජයන්තා - 23/ඒ 1 දහම්පුර, ජී.ආර්. නිලන්ති _ 23/43, ඒ දහම්පුර, ජී. ජගත් _ 23/49 ඒ, දහම්පුර, වී. සුප්‍රමනියම් _ 23/45 ඒ, දහම්පුර, ඒ.ඒ.පී. වීරසුන්දර _ 23/45 බී දහම්පුර, එම්.ටී. රම්‍යලතා 23 බී 1 දහම්පුර, සමන්ත පුෂ්පකුමාර _ 23/2 ජේ. දහම්පුර, නලින්ද සිල්වා - 23/58 ඒ දහම්පුර යන නිවැසියන් සහ නිවාස කිහිපය ඇතුළුව ඒ අවට තවත් නිවාස අවදානමට පත්ව ඇති බවත් එම නිවැසියන්ගේ ජීවිත හා දේපළ සුරක්ෂිත කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙසද එම ලිපිය මඟින් ඉල්ලීමක් කර ඇත.

ග්‍රාම නිලධාරිවරයා තමන්ට වාර්තා කළ කරුණ අනුව ප්‍රාදේශීය ලේකම්වරයා විසින් පෞද්ගලිකවම එම ස්ථානයට ගොස් පරීක්ෂා කළ බවද ප්‍රදේශවාසීන් හා ග්‍රාම නිලධාරිවරයා පැවැසූ අයුරින් කුණු කන්දෙහි අධික පීඩනයෙන් ඒ අවට භූමිය අස්ථාවර බවත් එනිසාම නිවාස අනතුරට පත්වීමට ඉඩකඩක් ඇති බවත් එම ලිපියෙහි සඳහන් කර ඇත. එම තත්ත්වය කිසිසේත්ම ස්වාභාවික හේතූන් මත උද්ගතවූ අනතුරුදායක තත්ත්වයක් නොවන බවද කොහෙත්ම ඔරොත්තු නොදෙන කුණු කන්ද හේතුවෙන් උද්ගත වූ තත්ත්වයක් බැවින් නිවැසියන්ගේ ජීවිත හා දේපළ සුරක්ෂිත කිරීමට ඉතා කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා ලෙසද ඉල්ලා සිටින මේ ලිපියෙහි පිටපත් වගකිව යුතු පුද්ගලයන් සහ ආයතන කිහිපයක් වෙතම යොමුකර ඇත.

අප්‍රේල් 07 වැනිදා ම්ර්ණී/ච්ඉ/ඒච්/ජ්ධ්ඹ්/12 යන අංකය සහිතව කොළොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. මරික්කාර් හා ප්‍රසංග සෝලංගආරච්චි, කොළඹ දිස්ත්‍රික් ලේකම්, නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, කොළොන්නාව නගර සභාවේ ලේකම්, වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපති, දහම්පුර ග්‍රාම නිලධාරී වෙතද එම ලිපියෙහි පිටපත් යවා ඇත.
කොළොන්නාව ප්‍රාදේශීය ලේකම්වරයා විසින් ඉතා කඩිනමින් මීතොටමුල්ල කුණු කන්ද අවට පදිංචි අයගේ දේපළ හා ජීවිත සුරක්ෂිත කිරීමට අවශ්‍ය ඉදිරි පියවර ගැනීමට ඉතා කඩිනමින් පරීක්ෂා කර බලා වාර්තාවක් ලබාදෙන ලෙසට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ලිඛිතව ඉල්ලීමක්ද කර ඇත.

ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන සිය මාධ්‍ය නිවේදනය මඟින් පවසන පරිදි 2017-04-05 වැනි දින දහම්පුර ග්‍රාම නිලධාරි විසින් ප්‍රාදේශීය ලේකම් සිසිර කුමාරට මීතොටමුල්ල කුණු කන්ද අවට බරපතළ අනතුරුදායක තත්ත්වයක් වර්ධනය වන බව දැනුම් දුන් පසු ඒ මොහොතේම ප්‍රදේශීය ලේකම්වරයා ක්‍රියාත්මක වී ස්ථාන පරීක්ෂාවක්ද සිදුකර ඇත. එම ස්ථානයෙන් වහාම ඉවත්වන ලෙස එහි නිවැසියන්ට වාචිකව දැනුම් දුන්නද එයට ප්‍රතිචාරයක් නොමැති නිසා ප්‍රාදේශීය ලේකම් විසින් කොළඹ දිසාපති සුනිල් කන්නන්ගර මහතා දැනුවත් කර ඇතැයිද අමාත්‍යවරයා තම නිවේදනය මඟින් කියා සිටී.
වහාම නිවෙස්වලින් ඉවත්වන්නැයි ලිඛිතව ලිපියක් මඟින් අදාළ නිවෙස්වලට දැනුම්දෙන ලෙස දිසාපතිවරයා ප්‍රාදේශීය ලේකම්වරයාට උපදෙස් දී ඇති බවත් ඒ අනුව 2017-04-07 වන දින දහම්පුර ග්‍රාම නිලධාරිවරයා විසින් ප්‍රධාන වශයෙන් අනතුරට මුහුණ දෙන නිවාස 10ට ලිඛිතවම ලිපි භාරදී ඇති බවත් අමාත්‍යවරයා සිය නිවේදනය මඟින් තවදුරටත් කියා සිටී.

මීතොටමුල්ල කුණු කන්ද අවට භූමිය අස්ථාවර වීම හේතුවෙන් පදිංචි නිවෙස අනතුරුදායක තත්ත්වයට පත්ව ඇතැයිද දැනට පදිංචි වී සිටින අවදානම් සහිත නිවෙසින් ඉවත්වී ජීවිත හා දේපළ ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන ලෙසද යනුවෙන් කොළොන්නාව ප්‍රදේශීය ලේකම්වරයාගේ සිය අස්සනින් යුතුව 2017-04-07 දින දහම්පුර ග්‍රාම නිලධාරිවරයා විසින් නිවෙස්වලට ලිපියක් භාරදී ඇත.
රජයේ වගකීම ඉටු කරමින් රාජ්‍ය නිලධාරීන් කාර්යක්ෂමව කටයුතු කර තිබීම ඉතාම ප්‍රශංසනීය බවත් ජනතාව රජයේ පණිවුඩවලට දැන්වත් ඇහුම්කන්දිය යුතු බවත් අමාත්‍යවරයා පවසයි.

හදිසි අවස්ථාවකදී නිවැරැදි ප්‍රතිපත්තිය වනුයේ ප්‍රශ්න කරමින් සිටීම නොව, ආරක්ෂාව පිළිබඳ කටයුතු කිරීම බවත් මුළු ජාතියම මේ සිද්ධිය හරහා පාඩමක් උගත යුතු බවත් ස්වදේශ කටයුතු අමාත්‍යවරයා පවසයි.

සවනි ශේශාධි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්