කෝවිලේ උත්සවය පිහි ඇනුමකින් අවසන් වෙයි

  👤  3185 readers have read this article !
By mawbima 2017-04-20

හැටන් _ චන්න අද්දරගේ, නෝර්වුඩ් රිද්මි මිලින්දිකා

කෝවිල් උත්සවයක් අවසානයේ ඇතිවූ ගැටුමකින් එක් පුද්ගලයෙක් මියගිය බවත්, තවත් සිවුදෙනෙක් තුවාල ලැබීම නිසා රෝහල් ගත කළ බවත් හැටන් පොලිසිය පවසයි
හැටන් පොලිස් වසමට අයත් හැටන් _ කුඩාඔය තේ වත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් ඇන මේ ඝාතනය කර තිබේ.
ඝාතනයට ලක්ව ඇත්තේ කුඩාඔය තේ වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ මනිවේල් පුෂ්පරාජ් නමැති එක්දරු පියෙකි.

එම තේ වත්ත ප්‍රදේශයේ හින්දු කෝවිලක වාර්ෂික තේරු උත්සවය අවසානයේ කහ වතුර ඉසීමේ පූජෝත්සවය (මන්ජල් මීරාලා විලා) ඉකුත් (18දා) යෙදී තිබිණි. එම උත්සවය සමරමින් සිටියදී රාත්‍රි 8.00 පමණ දෙපිරිසක් අතර ඇතිවූ මතගැටුමක් දුරදිග යෑම නිසා මේ තත්ත්වය උද්ගත වී ඇති බව පොලිසිය පවසයි. පිහි ඇනුමට ලක්වූ පුද්ගලයා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කළ පසු මිය ගිය බවත්, අත්අඩංගුවට පත් සිද්ධියෙන් තුවාල ලැබූ සැකකරුවන් දික්ඔය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මූලික ප්‍රතිකාරවලින් පසු පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවීමට පියවර ගත් බවත් රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.
මියගිය අයගේ මෘත දේහය අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සඳහා නාවලපිටිය මූලික රෝහල වෙත යැවීමට නියමිත අතර හැටන් පොලිසිය ඉදිරි පරීක්ෂණ මෙහෙයවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon