සැකකරුවන් දෙදෙනාගේ බැංකු ගිණුම් වාර්තා රහස් පොලිසියට ලබා දෙන්න

  👤  3280 readers have read this article !
By mawbima 2017-04-20

අනුරාධපුර - ආනන්ද කරුණාදාස

අනුරාධපුර නගරයේ පෞද්ගලික මූල්‍ය ආයතනයක් බිඳ රුපියල් කෝටි හතකට අධික වටිනාකමනින් යුත් රන් ආභරණ සහ මුදල් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටින ප්‍රධාන සැකකාර හොර කල්ලි නායකයාගේ සහ ඔහුගේ ගෝලයාගේ බැංකු ගිණුම් පිළිබඳ සවිස්තරාත්මක විශ්ලේෂණ වාර්තා රහස් පොලිසියට ලබා දෙන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුනවෙල මහතා රජයේ සහ පෞද්ගලික බැංකු සියල්ලෙහි කළමනාකාරිත්වයට නියෝග කෙළේය.
රහස් පොලිසිය වැඩිදුර වාර්තාවක් මඟින් අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින් රජයේ සහ පෞද්ගලික බැංකු කළමනාකාරිත්වයට ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

මෙම මහා පරිමාණ රන් භාණ්ඩ සහ මුදල් කොල්ලය සිදුකළ බවට රහස් පොලිසිය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන මේ මස 28දා තෙක් රිමාන්ඩ් භාරයට පත් කර සිටින්නේ ඉපලෝගම කුංචිකුලම පදිංචි ඉපලෝගම අජන්ත නොහොත් අජන්ත පුෂ්පකුමාර බියගම සහ මෙම මහ පරිමාණ කොල්ලය සඳහා ඔහුට සහාය දැක්වූ බව කියන යාපනය වඩුක්කෝට්ටේ පදිංචි නගුලේශ්වරන් හෙවත් ටී. නගුලේශ්වරන් යන දෙදෙනායි.
සැකකරුවන් අත්අඩංගුවට පත් වන අවස්ථාවේ මෙම කොල්ලය පිළිබ¼දව විමර්ශනය සිදු කළේ රහස් පොලිසිය මඟිනි.
මෙහි මූලික විමර්ශන කටයුතු මීට පෙර අනුරාධපුර මූලස්ථාන පොලිසිය සහ අනුරාධපුර දිසා අපරාධ විමර්ශන කොට්ඨාසය එක්ව සිදු කළ අතර පසුව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත එහි වැඩිදුර විමර්ශන කටයුතු රහස් පොලිසියට පැවැරිණි.

ප්‍රධාන සැක කාර ඉපලෝගම අජන්ත නමැත්තාගේ ඍජු මෙහෙයවීම මත අනුරාධපුරයේ සහ දිවයිනේ තවත් ප්‍රදේශ රැසක මහා පරිමාණ රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකෑම් සිදු කර ඇති බව සැකකරුගෙන් රහස් පොලිසිය දීර්ඝව සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය කර ගැනිණි.
ප්‍රධාන සැකකාර ඉපලෝගම අජන්ත නමැත්තා පසුගිය 9දා පෙරවරුවේ වෑන් රථයකින් පැමිණි පිරිසක් පැහැරගෙන ගිය බවට ඔහුගේ බිරිය විසින් ඉපලෝගම පොලිසියට පැමිණිල්ලක්ද කර තිබිණි.

පොලිසිය නොමඟ යැවීමේ අරමුණින් මෙම අසත්‍ය පැමිණිල්ල සිදු කර ඇති බවට අනාවරණය වී ඇති අතර පොලිසියට අසත්‍ය පැමිණිල්ලක් සිදු කිරීමේ චෝදනාව මත ප්‍රධාන සැකකාර අජන්ත නමැත්තාගේ බිරිය සම්බන්ධයෙන්ද නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඉපලෝගම පොලිසිය කටයුතු කර ගෙන යයි.
රහස් පොලිසිය භාර නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න සහ අනුරාධපුර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි රවි පීරිස් යන මහත්වරුන්ගේ උපදෙස් මත රහස් පොලිස් මූලස්ථානයේ සමූහ මංකොල්ල විමර්ශන අංශය, අනුරාධපුර දිසා අපරාධ විමර්ශන අංශය සහ අනුරාධපුර මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්