මීතොටමුල්ල අපිට කුණු කන්දක්: සමහරුන්ට නම් මල් වත්තක්

  👤  3230 readers have read this article !
By mawbima 2017-04-20

මමත් එම ප්‍රදේශයට ගියා. හැබැයි මට නම් කිසි හූවක් ආවේ නෑ. මට කවුරුත් බැන්නෙත් නෑ. මම ඒ වුණාට වැඩි වෙලා හිටියෙත් නෑ. විනාඩි 45ක් විතර එම ස්ථානයේ ඉඳලා මම ආවා. මිනිස්සු මොනවා කිව්වත් එතැනට ගියහම එම ජනතාව මොන මැසිවිල්ල චෝදනාව එල්ල කළත් කුණුහරුපෙන් බැන්නත් අතින් පයින් ගැහුවත් ඒ හැම දෙයක්ම මහජන නියෝජිතයෝ හැටියට විඳදරා ගෙන පුණ්ණ තෙරුන් වගේ සිටිය යුතු යැයි මීතොටමුල්ල ව්‍යසනය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පවත්වමින් ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළොන්නාව ආසන සංවිධායක ප්‍රසන්න සෝලංගාරච්චි මහතා පැවැසීය.
හෙතෙම වැඩිදුරටත් මෙසේද කීය.

ඔවුන් සාධාරණයි, අසරණයි, ඔවුන් නිවැරැදියි. එම ජනතාවට කිසිදු චෝදනාවක් මා කරන්නේ නෑ. පක්ෂයක් හැටියට බොහොම නිහතමානීව එම ජනතාවට සිදු වූ ව්‍යසනයේ වරද රාජ්‍ය යාන්ත්‍රණයේ නිලධාරීන්, දේශපාලන අධිකාරිය විසින් භාර ගත යුතුමයි. ඒවාට සුදු හුනු ගාලා බේරෙන්න උත්සාහ දැරුවත් එහි වරද ජනාධිපතිතුමා නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරයා හැටියට මා පිළිගන්නවා. අපෙන් වරදක් වුණා.
මරික්කාර් මහතා එම ප්‍රශ්නය විස½දීමට බැහැගෙන දඟලපු හින්දා මම ඒකට දැඟලුවේ නෑ. එතැන ලොකු ප්‍රශ්නයක් තිබුණා. ඒ ප්‍රශ්නෙ කවුරු හරි ඇවිල්ලා විසඳන්න ඉදිරිපත් වෙනවා නම් මං හරිම කැමැත්තෙන් හිටියේ. මැයි පෙළපාළියට යද්දී කොළොන්නාව කුණු කන්දේ අනුරුවක් හදාගෙන වහා විසඳුමක් දියවු කියලා දේශපාලනික වශයෙන් ජනාධිපතිතුමාට අපි ඒත්තු ගැන්නුවා. මගේ පෞද්ගලික වියදමින් ජපානයේ මහාචාර්යවරයෙක් ඇතුළු කණ්ඩායමක් කසළ ප්‍රශ්නය විසඳීමට මෙරටට ගෙන්වුවා. එය විසඳීමට උත්සාහ දැරුවත් ඒක කරන්න යද්දී එක එක්කෙනා පැන පැන කරන්න හදපු හින්දා මම ඒවාට අත ගැහුවේ නෑ. හැබැයි මම දැන් දන්නවා කොළොන්නාවේ කුණු කන්ද අපිට කුණු ගොඩක් වුණාට සමහර කීප දෙනකුට මේක මල් වත්තක් කියලා. ඒ මල්වත්ත පිටුපස සිටි අය කවුද කියලා රජය හෙළිකර ගත යුතුමයි. ඔවුන්ට වහා නිසි දඬුවම් ලබාදිය යුතුයි.

එම ජාවාරමට හවුල් වූ පිරිස් කවුද කියලා ජනතාව දන්නවාත් ඇති. ඔවුන් එම ජාවාරමේ සිටි නිසා තමයි අනෙක් දේශපාලනඥයන්ටත් ජනතාව බනින්නේ. නිදහසේ හුස්ම ගැනීමේ අයිතියවත් ඔවුන් එම ජනතාවට ලබාදී තිබුණේ නැහැ.
මගේ මව පවසන ආකාරයට ඇය ඉපදීමට පෙරත් අදාළ ස්ථානයට කසළ බැහර කරලා තිබෙනවා. 1950 පමණ සිට අදාළ ස්ථානයට කසළ දමා තිබෙනවාලු. එහෙත් එම කන්ද විශාල වුණේ කොළඹ කුණු මීතොටමුල්ලට බැහැර කරපු නිසයි. කුණු කන්ද මිනිස්සු ළඟට ආවට මිනිස්සු කුණු කන්ද ළඟට ගියේ නැහැ. කුණුත් වැඩි වුණා. ඒ වාගේම එම ප්‍රදේශයේ ජනතාවත් වැඩි වුණා.

කොළඹ කුණු අපට එපා කියන බොළඳ මාතෘකාවේ මම නෑ. කොළොන්නාවේ දරුවන්ව කොළඹ ඉස්කෝලවලට දාන්න මවුපියේ පොර කකා එනවා. අපි ඕනෑම බඩුවක් මුට්ටුවක් ගන්න කොළඹට යනවා නම් අපේ දරුවා කොළඹ ඉස්කෝලෙ කෑම කාලා කෑම කොළේ පාසලේම දමනවා නම් අපි කොළඹ ගිහිල්ලා කෑම කාලා ඒ කොළේ එහි දමනවා නම් සීමා මායිම් දාගෙන අදාළ ප්‍රශ්නය විසඳන්න බෑ.

කුණු ප්‍රශ්නය විසඳන්න දෙන්නේ නැති මාෆියා කණ්ඩායමක් අද රටේ සිටිනවා. රාජ්‍ය නිලධාරීන්, දේශපාලනඥයන් කොපමණ මෙම ප්‍රශ්නය විසඳන්න උත්සාහ කළත් එය සිදුකිරීමට නොහැකි වී තිබෙනවා. නාගරික සංවර්ධන අධිකාරියේ, පාරිසරික අධිකාරියේ, පළාත් පාලනේ, පළාත් සභාවේ, මුදල් අමාත්‍යාංශයේ ඊ.අයි. වාර්තා සකස් කරන ස්ථානය තවත් බොහෝ ස්ථානවල කුණු මාෆියාවට සම්බන්ධ කාලකණ්ණි නිලධාරීන් සිටිනවා. මොනවා හරි දෙයක් කියලා සැලසුම නොකෙරෙන තැනටමයි ඔවුන් කතා කරන්නේ. බුදුහාමුදුරුවන්ගේ ජේසුතුමාගේ නබිනායකතුමාගේ සැලසුමක් ගෙනාවත් මේ කාලකණ්ණි ඒවත් කල් දමාවි.
පරිසර අමාත්‍යවරයා හැටියට ජනාධිපතිතුමා අදාළ විෂය එතුමා යටතට ගෙන වහා එම ගැටලුවට කඩිනම් විසඳුමක් ලබා දිය යුතුයි. මේක එතුමාගේ වගකීම. ඒ වගකීමෙන් එතුමාට මිදෙන්න බෑ. ජනාධිපතිතුමා එහි වගකීම ගත යුතුමයි. ආණ්ඩුව කරවන්නේ අපි නම් ජනතාව ඡන්දෙන් පත්කරපු ජනාධිපතිවරයා මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා නම් බොහොම නිහතමානීව එතුමා පසුගිය සිදුවීම්වල වගකීම භාරගත යුතුයි. මේකෙන් එතුමාට පැනලා යන්න බෑ.

විපතට පත් ජනතාවට කෙක්කෙන් හරි කොක්කෙන් හරි කුමන හෝ ක්‍රමවේදයක් අනුගමනය කරලා සාධාරණව කිසිදු තහංචියකින් තොරව ස්ථීර නිවාස ලබාදිය යුතුමයි. අනාරක්ෂිත කලාප වල සිටින ජනතාවට ලියුම් දුන්නට ඒ මිනිසුන් ලියුම් විතරක් අරගෙන නිවෙස්වලින් පිටවෙන්නේ නෑ. ඔවුන්ට පිස්සුවක් තියෙනවාද ලියුමක් දුන්නාම නිවෙසින් පිටවෙන්න. ලියුම උඩද ඔවුන් බුදියගන්නේ. ලෝකයේ වසර 40කට පෙර මේවාට විසඳුම් සොයාගත්තා. ඇයි අපි තාමත් ප්‍රමාද? මේක මෙතෙක් බදාගෙන හිටපු දේශපාලන බල අධිකාරිය පැත්තකට වුණොත් ජනාධිපතිතුමා සමඟ ෆයිට් කරලා එය සිදුකළ යුතුමයි කියලා එතුමා විසින් පත්කරන විශේෂ නිපුණතාවකින් හෙබි නියෝජිතයකු සමඟ ජාතික වැඩසටහනක් ක්‍රියාවට නැංවුවහොත් මම එහි නියමුවා හැටියට ඉදිරියට පැමිණෙනවා.

කොළොන්නාව කුණු කන්ද හමුදාව විසින් භාරයට ගත යුතුමයි. කප්පම්කාරයෝ කුලීකාරයෝ පෞද්ගලික ආයතන අතර කසළවලට මුදල් හුවමාරු සිදුවෙන්න බෑ. ජනාධිපතිතුමා වුවත් ඊළඟ මැතිවරණයට යෑමට පෙර කොළොන්නාවේ කැළිකසළ ප්‍රශ්නයට විසඳුමක් ලබාදිය යුතුමයි. නැති නම් මා මෙම කොළොන්නාවේ තවදුරටත් දේශපාලනය සිදුකරන්නේ නෑ. කරන්නත් බෑ. අපට ජනතාව තවත් මුළාවේ දාන්න බෑ. මගේ ගමේ ජනතාව තවදුරටත් අසීරුතාවකට පත් කරන්න බෑ.
ඉතිහාසයේ මා දැක නෑ කිසිදු පොලිස්පතිවරයෙක් මේ තරම් මහන්සි වෙනවා. එතුමාටත් තිබුණා නියෝග දීලා සීතල කාමරේකට වෙලා ඉන්න. අප අතීතයේ දුටුවා ඇතැම් නියෝජ්‍ය පොලිස්පතිවරු මිනිසුන්ට ගහලා මරනවා. එදා ජනතාව බැටකාපු පොලිස් යුනිෆෝම් එකට සලකන ආකාරයට අදත් ජනතාව සලකනවා. එදා මිනිසුන්ට ගහන්න ආපු පොලිසිය අද මිනිසුන්ව බේරාගන්න ආවා.

රාජ්‍ය නිලධාරියකු කිව්වා පාඨලී ඇමැතිතුමත් දිනේෂ් ඇමැතිතුමත් කිසිම දෙයක් කරන්න දුන්නේ නැහැ කියලා. හැබැයි ඒ ගැන මම හරියටම දන්නේ නෑ. ඇමැතිවරු ගොඩක් ඇති. හැබැයි මේ රටට ඉන්නේ එක අග්‍රාමාත්‍යවරයයි. එක ජනාධිපතිවරයයි. ජනතාවට වැඩි විශ්වාසයක් තිබෙන්නේ විධායක ජනාධිපතිවරයා ගැන. විපතට පත්වූ ජනතාවට අද තිබෙන්නේ ජනාධිපතිවරයාගේ සහ දෙවියන්ගේ ආශීර්වාදය පමණයි.
ජනාධිපතිතුමාටත් පිහිටක් වීමට නොහැකි වුවහොත් මේ සියලු තනතුරු ආසන සංවිධායකකම් පැත්තකට දාලා එම ජනතාව සමඟ මමත් පාරට බහිනවා. එහෙම සිදුවුණොත් එකෙක්ට මේ කොළොන්නාවේ කුණු දාන්න දෙන්නේ නෑ. ජනාධිපතිතුමා පරිසර අමාත්‍යවරයා හැටියට අග්‍රාමාත්‍යවරයාට වඩා මෙම ප්‍රශ්නයට මැදිහත් වීම වඩා සුදුසුයි.

අග්‍රාමාත්‍යතුමාත් දුරකතන ඇමැතුම් දීලා මහන්සි වෙනවා අපි දැක්කා. මං එතුමාට අගෞරව කරනවා නෙවෙයි. ප්‍රශ්නය අග්‍රාමාත්‍යතුමාට භාර දීලා එතුමාට විසඳගන්න බැරි වුණොත් නැවතත් ජනාධිපතිතුමා ළඟටම යන්න බෑනේ. හානි වූ නිවාස සංඛ්‍යාව අනුව අදාළ සිදුවීම කොළොන්නාව තුළ සිදුවූ දරුණුතම ඛේදවාචකයයි. ඉන් මිනිස් ජීවිත 100ට අධික ප්‍රමාණයක් කොළොන්නාවට අහිමි වී තිබෙන බව මාගේ දැනුම අනුව විශ්වාසයයි.

මුල්ලේරියාව - ඉරෝෂණ මුදලිගේ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon