මෙතැනට ආපු නිසා මට ප්‍රශ්නය ගැන අවබෝධයක් ලැබුණා

  👤  3216 readers have read this article !
By mawbima 2017-04-20

මීතොටමුල්ල කසළ ප්‍රශ්නය විසඳීම සඳහා ආණ්ඩුව විවිධ පියවර ගත්තා. ඇතැම් පියවර ගන්න ප්‍රමාද වුණා. කුණු කන්දට යටවෙලා මිනිස් ජීවිත නැති වුණා. ඒ වගකීම අපිත් භාර ගන්න ඕනේ. සමාජයත් භාරගන්න ඕනේ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.
අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා සිදු වූ මීතොටමුල්ල කුණු කන්ද නායයෑමෙන් විපතට පත් ජනතාවගේ සුවදුක් විමසීම සඳහා ඊයේ (19දා) මීතොටමුල්ල ශ්‍රී රාහුල විද්‍යාලයට පැමිණි අවස්ථාවේදීය.

වියට්නාම සංචාරය නිමා කොට ඊයේ (19දා) අලුයම දිවයිනට පැමිණි අග්‍රාමාත්‍යවරයා රාජකාරියක් වශයෙන් ප්‍රථමයෙන් සිදු කළේ මීතොටමුල්ල ප්‍රදේශයේ විපතට පත් ජනතාවගේ සුවදුක් බැලීමට පැමිණීමය.

ඒ ජනතාවගේ සුවදුක් විමසා කුණු කන්ද අවට ප්‍රදේශය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අගමැතිවරයා මාධ්‍ය වෙත මෙසේ අදහස් දැක්වීය.
"ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මූලික රැස්වීමක් පැවැත්වූවා. ලංකාවේ නොහිටියාට මට අවස්ථාව ලැබුණා අදාළ ඇමැතිවරුන් හා ජනාධිපතිතුමාත් එක්ක සාකච්ඡා කරන්න. මේ ප්‍රදේශයේ සිටින ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට පත් කරල මියගිය අයගේ මළ සිරුරු ගොඩ ගැනීමත් දැන් සිදු කරගෙන යනවා. කුණු කන්දෙන් වෙන හානිය නවත්තගන්න තමයි ක්‍රියා කරගෙන යන්නේ. අන්තිම වතාවට මේ ප්‍රදේශය තුළ හමුදාව, පොලිසිය අදාළ මෙහෙයුම් කටයුතු සිදු කරනවා. දැනට ගෙවල් නැති වුණු ජීවත් වන හැම කෙනාටම නිවාස ලබාදෙන්න තීරණය කරල දැන් ඒ නිවාස හොයාගෙන තියෙනවා නාගරික සංවර්ධන අධිකාරියෙන්. ඒ නිසා මැයි, ජුනි මාසවලදී ඒ නිවාසවලට යන්නත් පුළුවන්. ඒ වෙනතුරු වෙනත් සහන විකල්ප වැඩසටහන් යොදවල තියෙනවා. තමන්ගේ නැති වුණු බඩු භාණ්ඩ පිළිබඳ තක්සේරු කරගෙන යනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ සිකුරාදා අවසන් වෙනකොට සම්පූර්ණ තක්සේරුව ලැබෙයි කියලා. මේවා ක්‍රියාත්මක කිරීමේදී සියලු සංවිධාන එකට එකතු වී වැඩ කළ යුතු වෙනවා. එකට එකතුව වැඩකරන ගමන් අපට ජපානයෙනුත් ලෝක බැංකුවේ කණ්ඩායමුත් මෙහාට එනවා. මේ කුණු කන්ද මෙතැන තියන්න අපි යන්නේ නැහැ. මෙතනින් ඉවත් කරනවා. මං හිතන්නේ කොළොන්නාවේ ජනතාවට විතරක් මෙතන තියෙන බර දාන්න බැහැ. කොළඹට ලක්ෂ විස්සක ජනතාවක් දවසකට එනවා. ලක්ෂ 7ක් ජීවත් වෙනවා. ඒ සියල්ල ගැන බලලා අනිත් රටවල වගේම පරිසරයට හානි නොවන විදියට මේ ගැන ක්‍රියා කරන්න සූදානම් වෙනවා. සමහර අය බලයි දේශපාලන වාසියට උද්ඝෝෂණ ගෙනියන්න. පරිසර නීතියට අනුකූලව ක්‍රියාකරන්නයි අපි කටයුතු කරන්නේ. මේ ප්‍රශ්නයට විසඳුමක් තියෙන්න ඕනේ. අපි විවිධ පියවර ගත්තා. සමහර පියවර ගන්න ප්‍රමාද වුණා. ජීවිත නැති වුණා. ඒ වගකීම අපිත් භාරගන්න ඕනේ. සමාජයත් භාර ගන්න ඕනේ. අපි කොහොමහරි මේ ප්‍රශ්නය විසඳන්න ඕනේ. මේ ජනතාවට එදිනෙදා ජීවිතය ගෙනියන්න මඟ සකස් කරල දෙන්න ඕනේ. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී මෙතැනට පැමිණි යුද හමුදාවත්, පොලිසියත්, විශේෂ කාර්ය බළකායත් විශාල සේවයක් කරල තියෙනවා.

ඒ අයට ස්තූතිවන්ත වන අතරේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල නිලධාරීන් කටයුතු කරගෙන යනවා. ඔවුන්ටත් ස්තූති කරනවා. මට දැන් විශේෂ අවබෝධයක් ලැබුණා මගේ කාර්යාලයට ගිහින් මීට අදාළව සිදුවිය යුතු ඉතිරි වැඩකොටසත් සංවිධානය කරන්න. මේ සතිය අවසන් වෙද්දී මේ සියලු වැඩකටයුතු අපට අවසන් කරගන්න පුළුවන් වෙයි. කැළි කසළ ප්‍රතිචක්‍රියකරණය සඳහා නීතිමය වැඩපිළිවෙළකුත් මේ වනවිට සකස් කරමින් තිබෙනවා."
අගමැති වික්‍රමසිංහ, ඇමැති සාගල රත්නායක යන පිරිස මීතොටමුල්ල ශ්‍රී රාහුල විද්‍යාල භූමියෙන් පිටව යද්දී ප්‍රදේශවාසීන්ගෙන් කිහිපදෙනෙකු දැඩි විරෝධතාවක් පෑවේය.

කුණු කන්ද කඩා වැටීමෙන් විපතට පත් ප්‍රදේශවාසීහු පිරිසක් එම ස්ථානයට පැමිණ සිටි අතර ඉන් කිහිප දෙනකුට අගමැතිවරයා මුණගැසී කතා බහ කිරීමට ආරක්ෂක අංශ විසින් ඉඩ නොදීම හේතුවෙන් එම විරෝධතාව පැන නැඟිණ.

අපි මුල ඉඳල කියන්නම් මේ කුණු කන්දේ ජීවිත කතාව. අනුර සේනානායක, ගෝඨාභය රාජපක්ෂ, මුසම්මිල් ඔය තුන්දෙනා තමයි මේක කෑවේ. අපට වතුර ගැහුවා, කඳුළු ගෑස් ගැහුවා, පොලුවලින් ගැහුවා. අපිට ඒවා ගැන කතා කරන්න ඉඩ දෙන්නේ නැහැ. මුන් ඔක්කොම අපිට හොරෙන් ඇවිත් යනවා. අපේ ගෙවල් ඔක්කොම නැති වෙලා. මං කීපාරක් කිව්වද මට යන්න දෙන්න කතා කරන්න ඕනේ කියලා. ඔක්කොමලා හරස් කරන් හිටියා. එදත් හිර කෙරුවා. අදත් හිර කරනවා. අපේ ගෙවල්නේ නැති වෙලා තියෙන්නේ. කොහෙවත් යන එවුන්ගේ ගෙවල් නෙමෙයි. අවුරුද්දට සතියකට කලිනුත් ගිහින් කිව්වා කුණුගොඩ පුපුරල තියෙන්නේ කියලා. ඒත් සත පහකට ගණන් ගත්තේ නැහැ. නෑ එහෙම කඩන් එන්නේ නැහැ අවුරුද්දෙන් පස්සේ බලමු කිව්වා. දැන් හරිනේ අවුරුද්දෙන් පස්සේ දීපු උත්තරේ. මුන් ඔක්කොම කන තරමක් කෑවේ මේකෙන්. කෝටි ගණන් සාක්කුවට දාගත්තා. මහ එවුන්ට ගිහින් කිව්වම අපිව එළවගන්නවා. අපි ඉල්ලුවා වෙන්දේසි තක්සේරුව අපි ගලවගෙන යන්නම් කියලා. සතපහකට ගණන් ගත්තේ නෑ. අපිට 15,000ක් වැඩක් නැහැ. අපේ සින්නක්කර ඔප්පු තියෙන්නේ.

පහන් විජේසේකර
ඡායා : සරත් කුමාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්