ඉහළ වැටුප් පොරොන්දු මත කටාර් යැවූ තරුණියන් අසරණවී යළි මවු රටට ඇවිත්

  👤  3218 readers have read this article !
By mawbima 2017-04-20

කටුනායක - ලක්මාලි මුතුකුඩ

කටාර් රාජ්‍යයේ ආයතනයක පවිත්‍ර කරන්නියන් ලෙස විදේශ ගතවූ ලාංකික තරුණියන් දෙදෙනකු එරටදී විදේශ නියෝජිතයකු විසින් දින තුනක් වායු සමනය කළ කාමරයක සිරකර ගෙන අතවර කිරීමට උත්සාහ කිරීමේදී එයින් මිදී දිවි බේරාගෙන පෙරේදා (18දා) කටුනායක ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණියහ.
මෙලෙස කටුනායකට පැමිණ සිටි තරුණියන් දෙදෙනා අවු. 19 වයසැති පල්ලේකැලේ ගල්මුරුව ප්‍රදේශයේ පදිංචිකාරියෝ් වෙති.
මරදානේ පිහිටි විදේශ රැකියා ආයතනයක් විසින් මේ තරුණියන් දෙදෙනාගෙන් රුපියල් ලක්ෂ තුනක් අයකර කටාර්හි සුපිරි ආයතනයක ආරක්ෂාව යටතේ ඉහළ වැටුප් සහිත රැකියා අවස්ථා ලබා දෙන බවට දුන් ගිවිසුම අනුව ඉකුත් 13 වැනිදා විදෙස් ගතවී ඇත.

මේ පිළිබඳව කිසිදු දෙයක් නොදත් තරුණියන් දෙදෙනා අනාගතය සරුකර ගැනීමට සිහින මවමින් පළමු වරට විදේශ ගත වුවත් පොරොන්දු වූ රැකියා වෙනුවට කටාර් ගෘහ සේවයට දමා ඇත. පසුව එයට අකැමැති වූ බැවින් ඔවුන් නැවත ගෙන්වාගෙන ඇත. ලාංකිකයකු වූ විදේශ නියෝජිතයා ඉකුත් 14 වැනිදා රාත්‍රියේදී ආහාරයට යැයි පවසා බිරියානි සහ පැණි බීම ලබා දුන් බවත් ආහාරවලට නින්ද යන බෙහෙත් දමා ඇති බවට සැක සිතූ තරුණියන් දෙදෙනා ඒවා ආහාරයට නොගෙන ලංකාවෙන් රැගෙන ආ පාන් සහ සීනි සම්බෝලත් වතුර බෝතල් දෙකකුත් පමණක් භාවිත කර ඇත. පසුව තරුණියන් මත්වී ඇතැයි සිතා පැමිණි රැකියා නියෝජිතයා කාමරයේ සිටි ඔවුන්ට අතවර කිරීමට උත්සාහ කළද එය අසාර්ථක වූ නිසා තමන්ට පහරදුන් බවත් ඔවුන් ලංකාවෙන් රැගෙන ගිය ජංගම දුරකතන දෙකද බලෙන් උදුරා ගත් බවත් සිද්ධියට මුහුණ පෑ තරුණියන් දෙදෙනා ගුවන් තොටුපොළේදී කීහ.

සිහින බලාපොරොත්තු සුන්ව ගොස් ජීවිතය පමණක් බේරාගෙන දින තුනක් හරිහැටි කෑමක් නොමැතිව දුක්විඳ මවුපියන් යැවූ ගුවන් ටිකට්පතින් නැවත මවුරටට පැමිණි මේ තරුණියන් දෙදෙනාව කටුනායක ගුවන්තොටුපොළේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟිින් භාරගෙන ඔවුන්ගේ නිවෙස්වලට ආරක්ෂාකාරීව පිටත් කර හැරීමට කටයුතු කර තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්