නීලබැම්මේ තිබී හමු වූ මිනිස් ඇටකටු ගැන හොයන්න ඩී.එන්.ඒ. පරීක්ෂණයක්

  👤  3158 readers have read this article !
By mawbima 2017-04-20

නාත්තන්ඩිය - සමන්ප්‍රිය ජයශාන්ත

නීල බැම්ම ව්‍යාපාරයේ වන රොදක තිබී හමුවූ ඇටකටු අනුරාධපුර පොලිසියේ සේවය කරමින් සිටියදී ගිනි අවියක්ද සමඟ අතුරුදන් වී ඇති බව කියන පොලිස් කොස්තාපල්වරයාගේද යන්න හඳුනා ගැනීම සඳහා ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සිදු කරන ලෙස පුත්තලම දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා සාලියවැව පොලිසියට නියෝග කළේය.
ඉකුත්දා (18දා) සවස ඇටකටු තිබූ ස්ථානයට පැමිණ මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව දිසා විනිසුරුවරයා විසින් සාලියවැව පොලිසියට එම නියෝගය නිකුත් කරන ලදී.

නීල බැම්ම ඇළ මාර්ගයේ වැලි ගොඩ දමන්නකුට ඉකුත් 17 වැනිදා සවස ගිනි අවියක් හමුවී ඇත. එම පුද්ගලයා තවදුරටත් සෝදිසි කර බලන විට හිස සුන් ඇටකටු කීපයක්ද හමුවී ඇත. පසුව ඔහු විසින් මේ බව රාජාංගණය පොලිසියට දැනුම් දීමට කටයුතු කර ඇත. නමුත් ඇටකටු තිබී ඇත්තේ සාලියවැව පොලිස් බල ප්‍රදේශයේ වන බැවින් විමර්ශන කටයුතු සාලියවැව පොලිසියට භාර දීමට රාජාංගණය පොලිසිය කටයුතු කර ඇත.
ඒ අනුව සාලියවැව පොලිසියේ නිලධාරීන් විසින් සිදු කරන ලද විමර්ශනයේදී ඇටකටු තිබූ ස්ථානයේ තිබී එම්. පී. 22 වර්ගයේ පිස්තෝලයක්, එම ගිනි අවියට යොදන ජීව උණ්ඩ 07ක්, පොලිස් නිල හැඳුනුම්පතක්, පාවහන් යුගලයක්, ඇඳුම් කීපයක් සහ හිස් මත්පැන් බෝතල් 02ක්ද සොයාගෙන ඇත.
පොලිස් නිල හැඳුනුම්පතේ සඳහන්ව ඇත්තේ පොලිස් කොස්තාපල් ලලිත් කුමාරසිරි (42282) ලෙසය. එම පොලිස් කොස්තාපල්වරයා අනුරාධපුර මූලස්ථාන පොලිසියට අනුයුක්තව සේවය කර ඇති අතර, පසුගිය 04 වැනිදා සිට ඔහු අතුරුදන් වී සිටින අයෙකි.

බිංගිරිය ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවකු වන එම පොලිස් කොස්තාපල්වරයා අවිවාහක අයෙකි. නමුත් ඔහු මැදවච්චිය _ පූනෑව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් සමඟ අනියම් ඇසුරක් පවත්වා ඇති බවට තොරතුරු හෙළිවී ඇත. යුද හමුදා සෙබළකු
සමඟ විවාහ වී සිට ඇති එම කාන්තාව ස්වාමිපුරුෂයා මිය යෑමෙන් අනතුරුව මේ පොලිස් කොස්තාපල්වරයා සමඟ ජීවත් වී ඇති නමුත් ඔවුන් විවාහ වී සිට නැත.
හතළිස් හය හැවිරිදි එම කාන්තාවද ඇටකටු තිබූ ස්ථානයට ඉකුත්දා (18දා) පැමිණ විමර්ශන කටයුතුවලට සහාය ලබාදී ඇත. එම ස්ථානයේ තිබූ පාවහන් යුගල සහ ඇඳුම් තමා සමඟ ජීවත් වූ පොලිස් කොස්තාපල්වරයාගේ බවට ඇය හඳුනාගෙන ඇත. නමුත් නිශ්චිත හඳුනා ගැනීමක් සිදු කර නොමැති නිසා මිය ගොස් ඇත්තේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සිදු කරන ලෙස දිසා විනිසුරුවරයා සාලියවැව පොලිසියට නියෝග කර ඇත.

අතුරුදන්වී ඇති පොලිස් කොස්තාපල්වරයාගේ සහෝදරයකු බිංගිරිය ප්‍රදේශයේ පදිංචිව සිටින බවටද පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇත. එම පුද්ගලයාගේ රුධිර සාම්පල සහ ඇටකටු අතර තිබූ මස් වැදලි කීපයක් ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සිදු කරන ලෙස දිසා විනිසුරුවරයා විසින් සාලියවැව පොලිසියට නියෝග කරන ලදී.
සාලියවැව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඡායා කුමාරසිංහ මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon