දුගී දුප්පත්කම තුරන් කරන්න කිසිදු යෝජනාවක් ඇත්තේ නැහැ

  👤  3146 readers have read this article !
By mawbima 2017-04-20

උදේනි සමන්කුමාර, තමන්කඩුව - ගාමිණී ඔබේසේකර,කදුරුවෙල - විපුල් ප්‍රියන්ත,පෙළොන්නරුව - බණ්ඩාර මුදියන්සේ, ලංකාපුර - හෙන්රි ලයනල්

පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දැනට සිදු කෙරෙන සංවර්ධන කටයුතුවලදී ජනතාවගේ දුගී දුප්පත්කම තුරන් කිරීමේ කිසිදු යෝජනා ක්‍රමයක් සකස් කර නැති බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා චෝදනා කරයි.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ භෞතික සම්පත් සංවර්ධනය ඉදිරියට ගොස් ඇතත් මානව සම්පත් සංවර්ධනය වෙනුවෙන් කිසිවක් සිදුකර නැතැයිද ජනපති පවසයි.
පොළොන්නරුව පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ශ්‍රවණාගාරයේ පෙරේදා (18දා) පැවැති පොළොන්නරුව දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

භෞතික සංවර්ධන කටයුතු සඳහා වැඩි උනන්දුවක් තිබෙන බව පෙනෙනවා. දැනට ආරම්භ කර ඇති සමහර ව්‍යාපෘතිවල ඇස්තමේන්තු වැඩියි. මේ ව්‍යාපෘතිවල ඇස්තමේන්තු මම දැකලා නැහැ. නිලධාරීන් ඒවා පිළිබඳ මා දැනුවත් කර නැහැ. ඛ්. ඡ්. ඛ්. ඕ. ආයතනය මඟින් සිදු කරන ව්‍යාපෘතිවල ඇස්තමේන්තු නැවත මට පෙන්වන්න ඕනෑ යැයිද ජනපති මෙහිදී උපදෙස් දුන්නේය. ගොවි ජනතාවගේ ණය බර, තරුණ තරුණියන් සඳහා ස්වයං රැකියා ව්‍යාපෘති, දුප්පත් ජනතාව නඟා සිටුවීම සඳහා නිර්මාණශීලී ව්‍යාපෘති ආරම්භ කිරීමට නිලධාරීන් ක්‍රියාකළ යුතු බවද ජනපති මෙහිදි කියා සිටියේය.

ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද කීය
මේ ඉදිරිපත් කළ ව්‍යාපෘතිවලින් වෙන වෙන ප්‍රශ්න විසඳෙන බව ඇත්ත. එහෙත් ජනතාවගේ දුප්පත්කමට මෙයින් විසඳුම් ලැබෙන්නේ නෑ. අනෙක් කාරණය තමයි දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති සකස් කිරීමේදී මේ දිස්ත්‍රික්කයේ මැති ඇමැතිතුමන්ලා සමඟ සාකච්ඡා කරලා ඒවා සකස් කරන්න. කරන සංවර්ධන කටයුතුවලදී මුල ඉඳලම යෝජනාවේ ඉඳලම ඒ ප්‍රදේශයේ අයට යන්න ඕන. මේක පොළොන්නරුවේ විතරක් නෙවෙයි මුළු ලංකාවෙම කෙරෙන්න ඕන. එතකොට තමයි මහජනයා දැනුවත් වෙන්නේ. මහජනයා දැනුවත් වෙන්න මහජන නියෝජිතයන් දැනුවත් වෙන්න ඕන. මම බොහොම පැහැදිලිව මේවා කියලා තියෙනවා. මේ කෙරෙන සෑම ව්‍යාපෘතියකම යෝජනාවේ ඉඳලා පාර්ලිමේන්තු පළාත් සභා නියෝජිතයන්ට යන්න ඕන. ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ මේවා යන්න ඕන. වැඩේ කලට වෙලාවට කෙරෙනවාද, ප්‍රමිතිය කොහොමද ඊළඟට අනිවාර්යයෙන් කෙරෙන සංවර්ධන වැඩ මජහනයා දැනුවත් වෙන්න. ඒක නිසා මීට කලිනුත් මම මේ ගැන කියලා තියෙනවා. මේක අනිවාර්යයෙන්ම සියලු දෙනා දැනගන්න ඕන.

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවල මේවා සමාලෝචනය කරන්නේ කොහොමද වාර්තා නැතිව. එම නිසා ප්‍රාදේශීය ලේකම්තුමාලා පිබිදෙමු පොළොන්නරුව සහ අනෙක් සියලු ව්‍යාපෘති පළාත් සභාවලින් කරන ඒවා, රේඛීය අමාත්‍යාංශවලින් කරන ඒවා සංවර්ධන කමිටුවේදී ගන්න ඕන න්‍යාය පත්‍රයට දාගන්න. ඒකට සහභාගි වෙන මන්ත්‍රිවරු ඇමැතිවරුත් එක්ක සාකච්ඡා කරන්න ඕන.
ඒක සාමාන්‍යයෙන් වෙන දෙයක්. අලුතෙන් කිවයුතු දෙයක් නෙවෙයි.

පොළොන්නරුව පුජාභූමි සංවර්ධනයේදී ගරුතර මහා සංඝරත්නයේ අවවාද අනුශාසනාවලට ප්‍රමුඛතාව ලබාදී අවශ්‍ය කටයුතු කළ යුතුයි. මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරීන් සහ පුරාවිද්‍යා නිලධාරීන් ඒ ගැන අවධානයට ගත යුතුවෙනවා.
පිබිදෙමු පොළොන්නරුව සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී රජයේ ආයතනයක් වුවද ඉන්ජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය ඉදිරිපත් කරන ඇස්තමේන්තු ඉතාමත් වැඩියි.

එම නිසා මින් ඉදිරියට එම ආයතනයට ඉදිකිරීම් කොන්ත්‍රාත් පිරිනැමීමේදී පෞද්ගලිකවම මට ඉදිරිපත් කළ යුතුයි. එසේ නොකොට එම ඉදිකිරීම් ඇස්තමේන්තු අනුමත කරන්න එපා කියල මම දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු අදාළ නිලධාරීන්ට උපදෙස් දෙනවා. උතුරු මැද මහ ඇමැති පේෂල ජයරත්න, උතුරු මැද පළාත් කෘෂිකර්ම ඇමැති පුංචි බණ්ඩාර රත්නායක, දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන සිඩ්නි ජයරත්න, නාලක කොලොන්නේ, උතුරු මැද පළාත් සභාවේ මන්ත්‍රිවරුන් වන සම්පත් ශ්‍රී නිලන්ත, එන්.වී. සමන්ත, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් රංජිත් ආරියරත්න, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී රන්ජන් ධර්මවර්ධන, ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ප්‍රේමසිරි මුණසිංහ, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු රැසක් මෙම අවස්ථාවට එක් වූහ.

මෙම රැස්වීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘතිය යටතේ පොළොන්නරුව නගරයේ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් පරීක්ෂා කිරීමටද ගියේය.
මෙම අවස්ථාවට උතුරු මැද මහ ඇමැති පේෂල ජයරත්න, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී රන්ජන් ධර්මවර්ධන, ජනාධිපති ව්‍යාපෘති අධ්‍යක්ෂ ප්‍රේමසිරි මුණසිංහ යන මහත්වරු සහ අදාළ නිලධාරීහු එක්ව සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon