බ්‍රාහ්මණවත්තේ සීවලී තිස්ස අනුනාහිමි

  👤  3145 readers have read this article !
By mawbima 2017-04-20

උදේනි සමන් කුමාර

ශ්‍රී ලංකාවේ සඟ සසුනෙහි විශාල හිදැසක් සනිටුහන් කරමින් උදාර සංඝ පීතෘවරයකු වූ බ්‍රාහ්මණ වත්තේ සීවල තිස්ස අනුනායක හිමිපාණෝ පසුගියදා දැයෙන් සමුගත්හ. ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරි බ්‍රාහ්මණවත්තේ සීවලී හිමිපාණෝ පුරා වසර 15ක් ලේඛකාධි ධුරය දරමින් අමරපුර මහා නිකායට මතු නොව මෙරට සම්බුද්ධ ශාසනයට අමිල මෙහෙවරක් සිදු කළහ. අපවත් වන විට සීවලි තිස්ස හිමියෝ 82 හැවිරිදි වියේ පසුවූහ.
ගාලු දිස්ත්‍රික්කයේ බළපිටිය බ්‍රාහ්මණවත්ත ග්‍රාමයෙහි 1936 මාර්තු මස 3 වැනිදා උපන් අප හිමියෝ එදිරිමුනි ඇක්මන් සිල්වා යන ගිහි නාමයට හිමිකම් කීහ. 16 වැනි සියවසේ පෘතුගීසීන්ගේ අක්‍රමණයත් සමඟ දකුණු මුහුදු බිම් තීරයේ මිෂනාරි අධ්‍යාපනය හා කතෝලික ආගම පැතිර යද්දී බොහෝ සිංහල ප්‍රභූ පවුල් පවා අන්‍යාගම් වැලඳගත් සමයක ඇක්මන් සිල්වා දරුවා බුදු සසුනෙහි පැවිදි කරවීමේ එඩිතර තීරණය ගැනීමට බළපිටිය බ්‍රාහ්මණවත්තේ ප්‍රභූවරුන් වූ උන්වහන්සේගේ මවුපියෝ නොපසුබට වූහ.

එවකට නාගදීප පුරාණ රජමහ විහාරාධිපති වශයෙන් සිටි බ්‍රාහ්මණවත්තේ ධම්මකිත්ති තිස්ස හිමියන්ගේ ආචාර්යත්වයෙන් බ්‍රාහ්මණවත්තේ සීවලී තිස්ස නමින් 1951 මැයි 21 වැනිදා උන්වහන්සේ පැවිදි දිවියට පිළිගත්හ. නාගදීප මහ වෙහෙර පැවැතියේ දමිළ ජාතික පවුල් විශාල සංඛ්‍යාවක් පදිංචිව සිටි නාගදීපයෙහිය. එහි සිටියේ හින්දු බැතිමතුන් හා කතෝලික ආගම වැලඳගත් පවුල් පමණි. ඔවුහු නාගදීප විහාරයෙහි දායකයෝද වූහ. ධම්මකිත්ති නායක හිමියන් විසින් පවත්වාගෙන යනු ලැබූ දහම් පාසලේ දමිළ දරුවෝද බුදු දහම උගත්හ. සිංහල භාෂාව කතා කරන කිසිවකු එහි සිටියේ නැත. සීවලී හිමියෝ දෙමළ භාෂාවෙන් ධර්මය උගත්හ. දහම් පාසලේ සිටියේද දෙමළ දරුවන්ය. එහි ප්‍රතිඵලය වූයේ සීවලී හිමියන් උපසම්පදා ලබන විට ලංකාවේ සිටි දෙමළ ධර්ම දේශකයාණන් කෙනකු ලෙස උන්වහන්සේ ගෞරව ප්‍රණාමයට පත් වීමය. 1959දී බළපිටිය මෝදර සීමා මාලකයේදී අප හිමියන්ගේ උපසම්පදා පුණේ‍යාත්සවය සිදු කෙරිණි.

අනතුරුව විද්‍යාලංකාර පිරිවෙන් විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ සීවලී හිමියෝ 1962දී ශාස්ත්‍රපති උපාධිය ලබා සරසවියෙන් පිටවූහ. ඉනික්බිතිව ගුරු වෘත්තියට පිවිස ලංකාවේ බොහෝ දුෂ්කර පළාත්වල ගුරු සේවයේ නිරත වූහ. සීවලී හිමියෝ සිය ආචාර්ය උපාධිය සඳහා ඇතුළත් වූයේ ඉන්දියාවේ චිර ප්‍රසිද්ධියට පත් මදුරෙයි විශ්වවිද්‍යාලයෙහි. දෙමළ මාධ්‍යයෙන් ආචාර්ය උපාධිය ලද එකම ශ්‍රී ලාංකික භික්ෂුව ලෙස එදා සීවලී හිමියෝ ගෞරව ප්‍රණාමයට ලක්වූහ. ආචාර්ය උපාධිය ලබා මෙරට වැඩම කළ සීවලී හිමියෝ ගුවන් විදුලියේ සහ රූපවාහිනි ආයතනවල විචිත්‍ර දෙමළ මාධ්‍ය ධර්ම දේශකයාණෝ කෙනකු වශයෙන් ප්‍රසිද්ධියට පත් වූහ.
දෙමළ භාෂාව පමණක් නොව සිංහල, ඉංග්‍රීසි, පාලි, සංස්කෘත භාෂාවන්හි විසල් ප්‍රාගුණ්‍යයක් බ්‍රාහ්මණවත්තේ සීවලී අනුනායක හිමියන් සතුව පැවැතියේය. දෙමළ භාෂාව පිළිබඳ උන්වහන්සේ සතු විශිෂ්ට දැනුම සම්බන්ධව දෙමළ විද්වතුන් පවා විස්මයට පත්වූහ.

තිස් අවුරුදු යුද්ධය පැවැති විසම කාල පරිච්ඡේදයේදී සීවලී හිමියෝ දෙමළ ජනතාව වෙත සාමයේ පණිවුඩය ගෙන යමින් ඉටුකළ ජාතික මෙහෙවරට
ශ්‍රී ලාංකිකයන්ගේ කෘතවේදීත්වය හිමි විය යුතුය. බුදුන් වහන්සේගේ ඉගැන්වීමට අනුව මහණෙනි, චරත භික්ඛවේ චාරිකං' දෙසුම මත පිහිටා යුද හමුදා කඳවුරුවලටත් කොටි සංවිධානයේ කඳවුරුවලටත් වැඩම කළ සීවලී හිමියෝ ඇවිළුණු සිත් නිවා සුවපත් කරන්නට දම් දෙසූහ. උන්වහන්සේට පක්ෂ පාට දේශපාලනයක් නොවීම නායක හිමියන්ගේ චරිතයෙහි කැපී පෙනෙන ලක්ෂණය විය. ඕනෑම තැනක තම නිවැරැදි මතය ප්‍රකාශ කරන්නටත් ඒ මත පිහිටා ක්‍රියා කරන්නටත් පැවැති එඩිතරභාවය සීවලී හිමියන්ගේ චරිතයේ කැපී පෙනෙන්නකි. අමරපුර මහා නිකායේ මහ නායක කොටුගොඩ ධම්මාවාස හිමිපාණෝ මෙම කාරණය අවස්ථා කිහිපයකදීම තහවුරු කර තිබීම ගැනද මෙහිලා ගෞරවයෙන් සඳහන් කළ යුතුය. දෙමටගොඩ නාගදීප විහාරය, කිලිනොච්චිය ලුම්බිණි විහාරය, බළපිටිය බෞද්ධ මධ්‍යස්ථානය, නල්ලතන්නිය නාගදීප ශාඛා විහාරය යන උභය විහාරයන්හිද සීවලී හිමියෝ අධිපතිත්වය දැරූහ. බ්‍රාහ්මණවත්තේ සීවලී අනුනායක හිමියන්ට නිවන් සුව ප්‍රාර්ථනය කරමු.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon