කරාතේ ශූර වසන්ත සොයිසා ඝාතනයට චෝදනා ලැබූ එස්. එෆ්. ලොක්කා අනුරපුරේ බිස්නස් වැඩ

  👤  3231 readers have read this article !
By mawbima 2017-04-20

අනුරාධපුර - මහේෂ් විජේසූරිය

රාත්‍රි සමාජ ශාලා හිමිකරුවකු හා ලෝක ශුර කරාතේ ක්‍රීඩකයකු වූ ගිනස් වාර්තාවකට උරුමකම් කී වසන්ත සොයිසා මහතා අමානුෂික අන්දමින් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිට මහාධිකරණයේ ඇප මත මුදාහැරීමෙන් පසුව නැවත කරළියට පැමිණ දාමරික කටයුතුවල නිතර වූ එස්. එෆ්. ලොක්කා අනුරාධපුර නගරයේ ව්‍යාපාර ප්‍රවර්ධනය හා සමාජ සේවා කටයුතු ආරම්භ කරමින් කැපී පෙනෙන පුද්ගලයකු බවට පත්වීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
අලුත් අවුරුදු සමයේ අනුරාධපුර සිට හා පිටස්තර ප්‍රදේශවල සිට භාණ්ඩ මිලදී ගැනීමට පැමිණෙන පාරිභෝගික ජනතාවට, අනුරාධපුර නගරයේ පිහිටි මහා පරිමාණ ව්‍යාපාරික ආයතනයක් විශිෂ්ට සේවාවක් සපයන බව පවසමින් ඊට සහයෝගය දක්වමින් අලෙවි ප්‍රවර්ධන කටයුතු සිදුකර ඇති බවට වාර්තා විය. මේ හේතුවෙන් අනුරාධපුර නගරයේ ව්‍යාපාරිකයන් බොහෝ පිරිසක් ඔහු සමඟ අමනාපයෙන් පසුවන බව වාර්තා විය.

අව් කණ්ණාඩි පැලඳ රිදියෙන් තැනූ මාල ගෙලෙහි හා අත් පුරා පැලඳගෙන අනුගාමිකයන් සමඟ අනුරාධපුර නව නගරයට පැමිණෙන එස්.එෆ්. ලොක්කා පසුගිය මාස කිහිපයේම සමාජ සේවා කටයුතුවල නිරතව සිටි බවද වාර්තා විය. අනුරාධපුර ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ පිහිටි බෞද්ධ විහාරස්ථානයක හිමි නමක් හා එක්වී උන් වහන්සේ සමඟ විවිධ සමාජ සේවා කටයුතුවලටද සහභාගි වී සමාජ සේවයේ නිරත වී සිටින අතර උන්වහන්සේ සමඟ ශ්‍රී මහා බෝධිය වැඳපුදා ගැනීමටද ගොස් තිබෙන බව වාර්තා විය.

ඔහුගේ නඩු කටයුතුවලට මුදලින් සහයෝගය දක්වන්නන්ගේ වෙළෙඳ ආයතන ප්‍රවර්ධනය කිරීමට ඔහු කටයුතු කරන බවද ඔවුහු පැවැසූහ.
දහයියාගම "ලොකු" හෙවත් එස්. එෆ්. ලොක්කා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන අනුරාධපුර කාර්මික පෙදෙස් පදිංචි ආර්. ඒ. ඉරෝන් රණසිංහ මේ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටී. ඊට අමතරව පැනරෝමා රාත්‍රි සමාජ ශාලාවට ජීව අත්බෝම්බ ප්‍රහරයක් එල්ල කිරීමේ චෝදනාවට එරෙහිව පැවැති නඩුවේදී ඔහු ඇප මත මුදාහැර සිටින්නෙකි. අනුරාධපුර නගරයේ කිසිදු දාමරික ක්‍රියාවක නිරත වී පුද්ගල බිය ගැන්වීම්, කප්පම් ගැනීම් සිදු නොකරන ලෙස අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නව ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සංජීව මහානාම මහතා ඔහුට අවස්ථා කිහිපයකදීම තරයේ අවවාද නිකුත් කර තිබෙන බවද වාර්තා විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්