මැයි 08දාට යෙදෙන රණවිරු දිනය නිමිත්තෙන් යාපනය ශුද්ධ පවිත්‍ර කරති

  👤  3239 readers have read this article !
By mawbima 2017-04-20

හර්ෂනී අර්සකුලරත්න

මැයි මස 08 වැනි දිනට යෙදෙන රණවිරු දිනය නිමිත්තෙන් උතුරු පළාත කේන්ද්‍ර කරගනිමින් යාපනය නගරයේ අපිරිසුදු ස්ථාන පිරිසුදු කිරීමේ වැඩසටහනක් උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක කරන බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ පවසයි.
පෙරේදා (18දා) ආණ්ඩුකාර කාර්යාලයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් ආණ්ඩුකාරවරයා එසේ පැවසීය.
මේ සඳහා යාපනය මහ නගර සභාව, නාවික හමුදාව, යුද හමුදාව දායකත්වය ලබාදීමට නියමිතය.
හමුදා පෙළපාළි, වෙඩිමුර වෙනුවට ජනතාවගේ සුබසිද්ධිය මූලික කරගත යුතු බවත් යාපනය නගරය මේ වනවිට මුළුමනින්ම අපිරිසුදු තත්ත්වයක පවතින බවත් ඒ නිසා මැයි මස 07 වැනි දින නගරයේ සියලු ඇළ මාර්ග, පොකුණු සහ ජලය රැඳී පවතින ස්ථාන ශුද්ධ පවිත්‍ර කිරීමට කටයුතු කරන බවද ආණ්ඩුකාරවරයා එහිදී පැවැසීය.

මේ වැඩසටහන සඳහා අවශ්‍ය ශ්‍රම දායකත්වය ලබාදෙන අතර නාවික හමුදාව මඟින් අවශ්‍ය බෝට්ටු ලබාදීමට නියමිතය. ප්‍රදේශයේ සියලුම රජයේ ආයතන මේ සඳහා විශේෂ සහයෝගයක් ලබාදේ. එසේම ප්‍රදේශය පුරා මාර්ග දෙපස පවිත්‍ර කිරීමට උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගයෙන් බාලදක්ෂ කණ්ඩායම් යෙදවීමටද කටයුතු සූදානම් කර ඇත.

රණවිරු දිනය නිමිත්තෙන් හමුදා ස්මරණ උත්සවය මැයි මස 08 වැනි දින පලාලි ප්‍රදේශයේ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර රණවිරු දිනය වෙනුවෙන් කයිතඩි ප්‍රදේශයේ පිහිටා ඇති වැඩිහිටි නිවාසයට හා ළමා නිවාසයට ආහාර වේලක් ලබාදීමටත් යාපනය ප්‍රදේශයේ පවිත්‍ර කිරීමේ කටයුතු සඳහා පැමිණෙන සියලු දෙනාටම ආහාරපාන ලබාදීමටත් ආණ්ඩුකාර කාර්යාලය පියවර ගෙන ඇත.
රණවිරු දිනයට සමගාමීව මැයි මස 09 වැනි දින යාපනය මහ රෝහලේ ලේ දන්දීමේ වැඩසටහනක් පැවැත්වීමටද නියමිතය.
මේ වැඩසටහන් මාලාව සඳහා කිසිදු භේදයකින් තොරව සැමට එක්වන ලෙස ආණ්ඩුකාරවරයා ආරාධනා කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්