ජාතික කෞතුකාගාරය සතු වටිනා කෞතුක භාණ්ඩ රැසක් ඇමෙරිකාවට හා කොරියාවට

  👤  3166 readers have read this article !
By mawbima 2017-04-20

දයා පෙරේරා

ශ්‍රී ලංකාවේ ජාතික කෞතුකාගාරය සතු උසස් ගණයේ කෞතුක භාණ්ඩ රැසක් කොරියානු ජනරජයේ හා අමෙරිකාවේ ප්‍රදර්ශන දෙකකට ඉදිරිපත් කිරීම ස¼දහා රැගෙන යෑම පිණිස අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයට ඉල්ලීම් දෙකක් ඉදිරිපත්ව තිබේ.
ජාතික කෞතුකාගාරය සතු ප්‍රසිද්ධ ලෝකඩ ප්‍රතිමා එකතුවද ඇතුළුව උසස් ගණයේ කෞතුක භාණ්ඩ 200ක පමණ ප්‍රමාණයක් කොරියානු ජනරජයේ ජාතික කෞතුකාගාරයේදී ලබන දෙසැම්බර් 11දා සිට 2018 පෙබරවාරි 04දා දක්වා පැවැත්වෙන ප්‍රදර්ශනයකට තැබීමට ඉල්ලා ඇත.
ශ්‍රී ලංකාව හා කොරියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වී වසර 40ක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන ප්‍රදර්ශනයට රැගෙන යෑමට යෝජනා කර ඇත්තේ කොරියානු ජනරජයේ ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාලයේ නිලධාරියකු විසිනි.

අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් පළාත්බද කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කෞතුක භාණ්ඩ එකතුවක් එහි රැගෙන යෑමට කරන ලද ඉල්ලීම විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට යොමු කර තිබේ.
කෞතුක භාණ්ඩ ප්‍රවාහනයේදී හා ප්‍රදර්ශනයේදී සිදුවිය හැකි හදිසි අනතුරු සහ නූතන තාක්‍ෂණය භාවිත කරමින් උසස් මට්ටමේ අනුකෘති සකස් කිරීමට ඇති හැකියාව නිසා මුල් කෘතියම ආපසු ලැබෙන බවට නිසැක තහවුරුවක් ලබා ගැනීමට නොහැකි වීම, මෙවැනි කෞතුක වස්තුවලට හානි වීම් සිදුවුවහොත් මහජන කැලඹිලි ඇතිවිය හැකි වීම ආදී කරුණු ගැන අවධානය යොමු කරමින් කෞතුක භාණ්ඩවල මුල්කෘති විදේශ ප්‍රදර්ශන සඳහා රැගෙන යෑම නොකළ යුතු බවට සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ඇමැති මණ්ඩලයට යෝජනා කර ඇත.

රාජ්‍ය නායකයන් අතර ඇතිකර ගන්නා ද්විපාර්ශ්වික එකඟතාවකදී පමණක් විදේශීය රටක ප්‍රදර්ශනය පිණිස පුරාවිද්‍යා උපදේශක සභාවේ අනුමැතීන්ට යටත්ව ඇමැති මණ්ඩලය පත්කරන විශේෂ කමිටුවකින් ලබාදෙන නිර්දේශය මත ජාතික කෞතුකාගාරය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදලට අයිති තෝරාගත් කෞතුක භාණ්ඩවල අනුකෘති සකස් කිරීම සුදුසු බවද එම අමාත්‍යාංශය යෝජනා කර ඇත.
සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ යෝජනා සඳහා මුදල් අමාත්‍යාංශයද නිරීක්‍ෂණ ඉදිරිපත් කරමින් එකඟත්වය පළ කර තිබේ.
මෙම කෞතුක භාණ්ඩ ප්‍රදර්ශන සඳහා ලබාදීම හෝ නොදීම ගැන තවම තීරණයක් කර නැති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව 'මව්බිම'ට පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon