ගත්තේ රුපියල් 300ක අල්ලසක් මුළු ජීවිතෙන්ම වන්දි ගෙවනවා සෞඛ්‍ය පරීක්ෂක අද ඉන්නේ පාළු සොහොනක

  👤  3170 readers have read this article !
By mawbima 2017-04-20

තඹුත්තේගම - ප්‍රදීප් විතානගේ

ඔහු නමින් "රණවීර ආරච්චිගේ ‍ෙදාන් ඩේවිඩ්"ය. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු ලෙස රැකියාව කොට ඇති ඔහුට රැකියාව අහිමි වී ඇත්තේ රුපියල් 300ක මුදලක් අල්ලස් ලෙස ගැනීමේ චෝදනාවට වරදකරු වීමෙනි. උපන් ගම වන මාතර, හංවැල්ල ප්‍රදේශයේ සේවයේ යෙදී සිටියදී මස් කඩ හිමියකු වෙතින් මෙසේ මුදල් අල්ලසක් ගැනීමේ පවට මේ මොහොත වන තුරුත් පාළු සොහොන් ගෙයකට වී වන්දි ගෙවන්නට ඔහුට සිදුව ඇත. වයස පිළිබඳව නිසි නිච්චියක් දැන් ඔහුට නැත. ආසන්න වශයෙන් අවුරුදු හැත්තෑපහක් පමණ විය හැකි බව ඔහු පැවැසීය.
ජීවිතය මේ යැයි හඟවන තරමට ඔහුගේ කතාව අනුවේදනීය එකකි.

විවාහයක් වී දරු සුරතල් බැලීමට තරම් වාසනාවන්ත වී නැති ඩේවිඩ් මහතා රැකියාව අහිමි වීමෙන් පසුව නෑ හිතවතුන්ද අතහැර දමා රට හැමතැන ගොස් ඇත්තේ අපමණ සිත්තැවුලෙනි. මේ කෘශ ශරීරයක් ඇති, වයෝවෘද්ධ, අහිංසක පෙනුමෙන් මේ යුතු මිනිසා පවසන පරිදි අනුරාධපුරය සහ අලව්ව ප්‍රදේශවල පිරිවෙන් දෙකක ඉගැන්වීමේ කටයුතුවල නියැළී ඇත. ඒ පිළිබඳව ඔහු කීයේ මෙවැන්නකි.
"මගේ අමාරුකම් කිව්වහම මට උගන්නන්න දුන්නා" අල්ලස් චෝදනාවට වැරැදිකාරයා වෙලා හිටපු නිසා රජයෙන් පඩියක් හම්බ වුණේ නෑ. හාමුදුරුවන් අනුකම්පා කරලා සල්ලි එකතු කරලා තමයි මට පඩියක් හැටියට දුන්නේ. මං අනුරාධපුරයේ පිරිවෙනක ඉගැන්නුවා. පස්සේ අලව්වේ පිරිවෙනක ඉගැන්නුවා. ඇස් පෙනීම අඩු වුණාට පස්සේ අවසානේ මෙතැනට ආවා"

දැන් වසර විස්සකට ආසන්න කාලයක සිට ඔහුගේ නවාතැන වී ඇත්තේ ගලේවෙල - කලාවැව ප්‍රධාන මාර්ගයේ හමුවන "බේලියකන්ද" ගම්මැද්දේ පිහිටි පාළු සුසාන භූමියකි. එහි පිහිටි සුසාන ගෙයට වී කවරකු හෝ ගෙනැවිත් දෙන යමකින් පණ ගැටගහ ගන්නා ඔහුට ගෙවී ගිය ඊයේ දවසත් උදාවන හෙට දවසත් එකක්ම වී ඇත. එකම අපේක්ෂාව කුමන මොහොතක හෝ පැමිණිය හැකි මරණය පමණක්ම වී ඇත.
"මට දුකක් නෑ. මට වඩා උසස් විදියට හිටපු සමහර මිනිස්සු හිඟමනට වැටිලා මැරිලා යනවා. මේ තමයි අපි කරපු පින් පව්. මං මේ සොහොනට ඇවිල්ලා දැන් අවුරුදු විස්සක් වෙනවා. මගේ කියලා කිසිම කෙනෙක් ඇවිල්ලා නැහැ. මම හොයන්න ගියෙත් නෑ. මැරෙනකල්ම මේ සොහොනෙම ඉන්නවා. රස්සාව කරගෙන හොඳට ඉන්න තිබුණත් කරුමය ඒකට ඉඩ දුන්නෑ. මං අතින් වෙච්ච වැරැද්ද ගැන මට තියෙන්නේ ලොකු පසුතැවිල්ලක්. ඒත් දැන් ඒ ගැන මං හිතන්නේ නෑ. මං කරපු වැරැද්දට අද මේ විඳවන්නේ. අල්ලස් ගන්න නෙවෙයි ඒ ගැන හිතන්නවත් එපා කියලා මං ඉල්ලන්නේ"
බැස යන මළ හිරු රැස් වෙත නෙත් දල්වා ඔහු පැවැසීය. උණුසුමත් සිසිලත් එක ලෙස දැනෙන බිත්ති පිපිරී ගිය සොහොන් ගෙය පසෙක ඇඟලන ඇඳුම් කිහිපයකි. ජීවිතය මහා පුදුමයක් නොවේදැයි මම මෙනෙහි කළෙමි. ඉංග්‍රීසි භාෂාවද හොඳින් හැසිරවිය හැකි එවක මෙරට පැවැති අධ්‍යාපන ක්‍රමයට අනුව විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් මෙපිට ලැබිය හැකි ඉහළම අධ්‍යාපන සුදුසුකම්ද සපුරා ඇති ඩේවිඩ් මහතාට තවකෙකුට අතපාමින් ජීවිතයේ සැ¼දෑ සමය ගෙවන්නට සිදුව ඇත. මෙහි ගැමියන් මෙන්ම ඉඳහිට එන සමහරකු කන්නට යමක් අඳින්නට ඇඳුමක් හෙම දෙන බව ඔහු කීය.
"කවුරු හරි ඥාති වෙන කෙනෙක් හොයාගෙන ආවොත් යනවද?" මම ඇසීිමි.
"එහෙම එන්න කෙනෙක් දැන් නෑ. මං හිතන්නෑ කාටවත් මාව අඳුරන්න පුළුවන් වෙයි කියලා" ඔහු කීය.
"පෝයට සිල් ගන්න පන්සල් යනවද?"

"නෑ සිල් ගන්න ඇඳුම් නෑ. මං ඒ ගැන හිතුවේ නෑ."
"ඇයි කසාද බැන්දේ නැත්තේ"
"මට ඒ කාලේ එහෙම වුවමනාවක් තිබුණේ නෑ"
මේ කුමක් ඇසුවද ඔහුට ඉන් ඇතිවන සුගතියක් නැති වග පැහැදිලිය. තව කී දවසක් ඔහු ජීවත් වේදැයි කිව නොහැකිය. එය කී දවසක් වුවත්, ඔහුගේ අවසානය මේ පාළු සොහොන් ගෙය තුළම සිදුවීමට ඉඩහැරිය යුතුද යන්න මා වෙතින්ම ඇසීමි. ඔහුට යම් වැඩිහිටි නිවාසයක හෝ පන්සලක, පල්ලියක හෝ රැකවරණය සලසා දීමට කිසිවකුත් මෙතෙක් ඉදිරිපත් නොවුණේ ඇයිද යන්න පහසුවෙන් වටහා ගත නොහැක්කකි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon