අන්තර්ජාතික වෙසක් උළෙල මැයි 12 කොළඹදී

  👤  3146 readers have read this article !
By mawbima 2017-04-20

උපතිස්ස පෙරේරා

එක්සත් ජාතීන්ගේ අන්තර්ජාතික වෙසක් උළෙලේ ආරම්භක සැසිය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර ශ්‍රී මෝඩි මහතාගේ ප්‍රධානත්වයෙන් මැයි මස 12දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී ද එහි සමාප්ත සැසිය නේපාල ජනාධිපතිනි බිද්යා දේවි බණ්ඩාරි මහත්මියගේ ප්‍රධානත්වයෙන් මැයි මස 14 වැනිදා මහනුවර ඓතිහාසික මහ මළුවේදී ද පැවැත්වීමට රජය සියලු කටයුතු සංවිධානය කර ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, අධිකරණ හා බුද්ධශාසන අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ගණනාවක් එක්ව සංවිධානය කරන එක්සත් ජාතීන්ගේ අන්තර්ජාතික වෙසක් දින උළෙලට සහභාගි වන ලෙස රටවල් 85කට ඇරැයුම්කර ඇති අතර ඉන් රටවල් 72ක් මේ වන විට තම සහභාගිත්වය තහවුරු කර ඇතැයි කොළඹදී ඊයේ (19දා) දහවල් පැවැති මාධ්‍ය හමුවකදී අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.
මැයි මස 12 වැනි දින රාත්‍රි දියවන්නා වෙසක් කලාපය උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇතැයිද 13 වැනි දින දවස පුරා නෙලුම් පොකුණ රඟහලේදී බුදු දහමේ විවිධ අංශ ඔස්සේ සාකච්ඡා සම්මන්ත්‍රණ හා සංවාදයන්ද දේශීය හා විදේශීය සංස්කෘතික සන්දර්ශනයක් හා බෞද්ධයා නාළිකාවේ මෙහෙයවීමෙන් එදින රාත්‍රි පෙරහැරක්ද 14 මහනුවර ශ්‍රී දළදා මාලිගයේදී විශේෂ දළදා ප්‍රදර්ශනයක් හා ප්‍රධාන අංග ඇතුළත් දළදා පෙරහරක් පැවැත්වීමටද කටයුතු යොදා ඇතැයි අමාත්‍යවරයා එහිදී සඳහන් කෙළේය.

මේ නිමිත්තෙන් කුල දරුවන් 300ක් සසුන්ගත කිරීමේ මහා පුණ්‍යකර්මය මැයි මස 3 වැනිදා අනුරාධපුර රුවන්වැලි සෑ පුදබිමේදී ආරම්භ කිරීමට සංවිධායක කමිටුව විධි විධාන යොදා තිබේ. අන්තර්ජාතික වෙසක් දින උළෙලට සමගාමීව බෞද්ධ සන්නිවේදක සමුළුවක් ප්‍රථම වරට පැවැත්වීමටද කටයුතු යොදා ඇති අතර පිළියන්දල කහපොළ අක්කර 74ක භූමි භාගයක රුපියල් මිලියන 500ක දානපති ආධාර මත ඉදිවන ශාක්‍ය ජනපදයේ ප්‍රථම අදියර මැයි මස 12 වැනිදා විවෘත වෙයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon