මුදල් අමාත්‍යාංශය බොරු කියලා

  👤  3357 readers have read this article !
By mawbima 2017-04-20

ඉෂාරා සිල්වා

මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමෙන් සිදුවූ විපතින් ජීවිත හානි වූවන්ට රුපියල් ලක්ෂය බැගින්ද, දේපළ හානියකට උපරිමය ලක්ෂ 25 දක්වා ලබාදීමට වහා කටයුතු කරන බවට කරන ප්‍රකාශය බොරුවක් බව ආපදා කළමනාකාර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවැසීය. ඔහු මෙසේ සඳහන් කෙළේ ඊයේ (19දා) එම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී ඔහු පවසා සිටියේ 'සමහර ප්‍රවෘත්ති පළ වුණා මිය ගිය කෙනකුට ලක්ෂයයි. නිවාස අහිමි වූ අයට ලක්ෂ 25යි කියලා. එය බොරුවක් බවය.
ඇමැතිවරයා එසේ කීවද පසුගිය 17 වැනිදා මුදල් අමාත්‍යාංශය 'මීතොටමුල්ල විපතින් හානියට පත් වූවන්ට වන්දි' යන සිරස්තලය යටත් නිකුත් කළ නිවේදනයේ පැහැදිලිව සඳහන් කර තිබුණේ 'මීතොටමුල්ල කුණු කන්ද නායයෑමෙන් ආපදාවන්ට පත්වූවන්ට වන්දි ගෙවීමට රජය තීරණය කර ඇති බවත් ඒ අනුව එම ආපදාවෙන් ඇතිවූ ජීවිත හානියකට රුපියල් ලක්ෂය බැගින්ද දේපළ හානියකට උපරිමය ලක්ෂ 25 දක්වාද වන්දි ගෙවීමට වහා කටයුතු කෙරේ' යනුවෙනි.
එපමණක්ද නොව මීතොටමුල්ල ආපදාවෙන් පසුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැති සාකච්ඡාවේදී ගනු ලැබූ තීරණයකට අනුව අවශ්‍ය පියවර ගැනීමට මුදල් අමාත්‍යාංශය දැනටමත් කටයුතු කර ඇති බවද අමාත්‍යාංශ ලිපි ශීර්ෂයකින් නිකුත් කළ නිවේදනයකින් දැක්වෙයි.

මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ ඉහත ප්‍රකාශය කර තිබුණද වන්දි ගෙවීම සම්බන්ධයෙන් ඇමැති අනුර යාපා මහතා ඊයේ කළ සඳහන මෙසේය.
'සමහර ප්‍රවෘත්ති පළ වුණා මියගිය කෙනකුට ලක්ෂයයි. නිවාස අහිමි වූ අයට ලක්ෂ 25යි කියලා. එය බොරුවක්.
තක්සේරු වටිනාකම අනුව රජය නියම මුදල ජනතාවට ලබාදෙනවා' යනුවෙනි.
මේ වන්දි ගෙවීමේ පුවතට පාදක වූයේ මුදල් අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ එම්. අලිහසන්ගේ අස්සනින් මුදල් අමාත්‍යාංශ ලිපි ශීර්ෂයකින් ඉකුත් 17දා නිකුත් කළ නිවේදනයකි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්