ලංගම - දුම්රිය ඒකාබද්ධ ගමනාගමන සේවාවෙන් අවුරුදු සමයේ අපහසුවකින් තොරව ගමන් යෑමට හැකි වුණා

  👤  3223 readers have read this article !
By mawbima 2017-04-19

ඉෂාරා සිල්වා

මෙවර සිංහල හා දෙමළ අවුරුද්ද වෙනුවෙන් ගමන් බිමන් යන මගීන්ගේ පහසුව උදෙසා ශ්‍රී ලංගම, ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා දුම්රිය සේවය ඒකාබද්ධව සැලසුම් කර තිබූ ප්‍රවාහන සැලැස්ම නිසා මගීන්ට කිසිදු අපහසුතාවකින් තොරව ගමන් බිමන් යෑමට හැකි වූ බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

බොහෝ පිරිසක් මේ සම්බන්ධව ප්‍රශංසාත්මකව අදහස් ප්‍රකාශ කළද ඇතැම් පිරිස් සිදුවූ සුළු අඩුපාඩුවක එල්ලීගෙන හාරා අවුස්සමින් මහා ප්‍රචාරයක් දෙන බවත් අපේ රටේ මිනිසුන් රජය කරනු ලබන යහපත් කටයුතුවලදී ඇගයීමක් සිදු නොකර සුළු අඩුපාඩුවකදී විවේචනය කිරීමට පුරුදු වී සිටින බවත් ඔහු සඳහන් කරයි.
පෙරේදා (17දා) එම අමාත්‍යාංශයේ පැවැති උත්සවයකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. අවුරුදු සමයේ ප්‍රවාහන කටයුතු සිදුවන ආකාරය පිළිබඳව බස් නැවතුම්පොළවල හා දුම්රිය ස්ථානවලට ගොස් තමන් අධීක්ෂණය කළ නමුත් සමහර ඇමැතිවරුන් මෙන් කැමරා කණ්ඩායම් ගෙන ගොස් මාධ්‍යවලට ප්‍රකාශ ලබාදී අනවශ්‍ය ප්‍රචාරයක් ලබා නොදුන් බවද හෙතෙම පැවසීය.

වසර 30ක් පමණ අලුත්වැඩියා නොකළ කටුනායක ගුවන් ධාවන පථය තවත් වසරක් දෙකක් යන විට ගුවන්යානා ගොඩබැස්වීම් නතරවීමට ඉඩ තිබුණු බව සඳහන් කරන ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ වත්මන් රජයේ මැදිහත්වීම මඟින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ගුවන්තොටුපොළ අලුත්වැඩියා කළ පසු ඒ පිළිබඳවද සමහර පුද්ගලයන් විවේචනය කරන බවයි.

ඉදිරියේදී මනා සැලැස්මක් ඇතිව ඉතා හොඳින් අභියෝගයන්ට මුහුණ දෙමින් වැඩ කටයුතු සිදු කළ යුතු බවද ශ්‍රී ලංගම, දුම්රිය, ගුවන් තොටුපොළ ඇතුළු ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවලට ඕනෑම මොහොතක අභියෝග එල්ලවිය හැකි බැවින් ඒවාට සාර්ථකව මුහුණ දිය යුතු බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

වසර 30ක් පමණ අලුත්වැඩියා නොකළ කටුනායක ගුවන් ධාවන පථය තවත් වසරක් දෙකක් යනවිට ගුවන් යානා ගොඩබැස්සවීම් නතර වීමටත් ඉඩ තිබුණත් එය අප රජයේ මැදිහත්වීම මඟින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව අලුත්වැඩියා කළ පසු ඒ පිළිබදව සමහර පුද්ගලයන් ඒවාටත් විවේචන එල්ල කරන මිනිසුන් මේ රටේ සිටින බවද පැවසීය.

සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ දී වැඩ ආරම්භ කිරීම වෙනුවෙන් පැවැති උත්සවයේදී අමාත්‍යවරයා සේවක පිරිස් අමතන අයුරු.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්