පැලැස්තර විසඳුම් ලබාදීම නිසා මීතොටමුල්ල මිනී කනත්තක් වුණා

  👤  3189 readers have read this article !
By mawbima 2017-04-19

කොළඹ කුණු ප්‍රශ්නයට පැහැදිලි විසඳුම් ලබාදීමට හැකියාව තිබෙද්දී ඒවා මඟහැර පැලැස්තර විසඳුම් දීම නිසා මීතොටමුල්ල කුණු කන්ද අද මිනී කනත්තක් වූ බව ශ්‍රී ලංකා නිදහස් තරුණ සංවිධානයේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.
තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ "කුණු" ආර්ථික ඉල්ලමක් බවට පත්කරගත හැකිව තිබුණත් අප රටේ සිස්ටම්වල ඇති අඩුපාඩු නිසා එය නැතිවී ඇති බවත්, තාක්ෂණය අපට මදි නම් ජාත්‍යන්තරය සමඟ බද්ධ වීමෙන් එම ප්‍රශ්නය විසඳන්නට හැකියාව තිබෙන බවත් ඊයේ (18දා) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ශාන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශාන්ත බණ්ඩාර මහතා,
පසුගිය ආණ්ඩුව කාලයේ ආරම්භ කරපු මේ කුණු කන්ද ගැන ගැටලුව ඒ ආණ්ඩුවේ අයත් මේ ආණ්ඩුවේ අයත් භාරගත යුතුයි කියලා තරුණ පෙරමුණ හැටියට අපි කියනවා. කොළඹ කුණු ඉවත් කළ යුතුයි. ඒ ප්‍රශ්නයට විසඳුම් ලෙස තවත් තැනක කුණු පුරවලා එතැන ප්‍රශ්නයක් ඇති කරනවා නම් ඒකට අපි විරුද්ධයි. ඒ විතරක් නෙවෙයි. මේ සම්බන්ධව වැරැදි මත ප්‍රචාරය කරන්න දායක වෙච්ච පක්ෂ හා පුද්ගලයන් මේ ප්‍රශ්නයට වගකිව යුතුයි.
එහෙත් අපි එකිනෙකාට ඇඟිල්ල දිගු කරනවාට වඩා අපිට නිවැරැදි ක්‍රමවේදයන් නැති එකයි මෙයට ප්‍රධානම හේතුව.
රටට ඕනෑ විසඳුම්. ප්‍රශ්නයක්, ගැටලුවක් වුණාම ස්ථීර විසඳුම් ජනතාවට අවශ්‍යයි. අද ලෝකයේ තාක්ෂණය ඉතාම දියුණුයි. අපේ රටේත් තාක්ෂණය දියුණුයි. අපි අනවශ්‍ය දේට ඉතා ඉහළින් තාක්ෂණය භාවිත කරනවා. ප්‍රමුඛතාව දිය යුතු කාරණය පස්සට දානවා. හැබැයි මේ වගේ සරල කාරණයකට අපේ තාක්ෂණය මදි නම් විදෙස් තාක්ෂණය හරි භාවිත කරලා එය විසඳන්නට ක්‍රමවේද සෙවිය යුතුයි. පර්යේෂණාත්මකව මේවා බලලා ඒවාට විසඳුම් සෙවීම අපහසු කාරණා නෙවේ කියලා අපි දැඩිව කියා සිටිනවා. ඒ නිසා උසස් තාක්ෂණය භාවිත කරලා ප්‍රතිචක්‍රීයකරණය කරන්න පුළුවන්. කුණු කන්ද විශාල මුදලකට විකුණලා ඒ මුදලින් සුන්දර ගම්මානයක් ඉදිකරන්නට හැකියාව තියෙනවා.

අපි ඉතාම වගකීමෙන් කියනවා තරුණ පෙරමුණ හැටියට මාස 3ක් ඇතුළත් කොළඹ කුණු ප්‍රශ්නයට ස්ථීරසාර විසඳුමක් අපට දෙන්න පුළුවන් කියලා. කුණු ප්‍රශ්නය අපට දෙන්න. රටට වාසිදායක සුන්දර නිවාස පද්ධතියක් එක්ක ඒ ප්‍රශ්නය අපි විසඳන්නම්.
තාක්ෂණය ඉතාම ඉපැරැණි ප්‍රාථමික මට්ටමෙන් අපේ රටේ අධිවේගී මාර්ග පද්ධතියට භාවිත කරන්නෙ. කොළඹ දකුණ අධිවේගී මාර්ගය, කොළඹ කටුනායක අධිවේගී මාර්ගය ඉතාම ප්‍රාථමික මට්ටමේ තාක්ෂණය භාවිත කරලා හදපු මාර්ග. පස් කඳු පිටින් කපලා පුරවලා තමයි ඒ මාර්ග ඉදිකෙරුවේ. ඒවා බිස්නස්කාරයන්ට ධන උල්පත් වුණාට අපේ රටේ කඳු ටික කපලා රට කාන්තාරයක් බවට පත්කරලා අධිවේගී මාර්ග හදල වැඩක් නැහැ.
මධ්‍යම අධිවේගී මාර්ගයට දැන් පිඹුරුපත් සකස් කර අවසන්. අධිවේගී මාර්ග ඉදිකළ යුත්තේ කොන්ක්‍රීට් කුලුනු මත. ගොවි බිම් වගා බිම් ආරක්ෂා වන විදියට. ගං වතුරක් ආව කාලෙක මුළු පළාතම යට වෙන විදියට පාරවල් හදලා ඇති වැඩේ මොකක්ද..? ඒ නිසා මධ්‍යම අධිවේගී මාර්ගය කුලුනු මත ඉදිකිරීම පරිසරයටත් නවීන තාක්ෂණයටත් උචිත බව පැහැදිලිව අපි කියනවා.

අපේ රටේ පරිසරවේදීන්, ඉන්ජිනේරුවන්, තාක්ෂණවේදීන් ඉන්නවා. පරිසර ප්‍රශ්න විසඳන්නට පළාත් ඇමැතිවරුන් පළාත් මන්ත්‍රිවරුන් රාජ්‍ය නිලධාරීන් කොතරම් ප්‍රමාණයක් පිටරටවල පාඨමාලා වැඩමුළුවලට යැව්වද කියලා හොයලා බලන්න. ඒ අය මේ රටේ මහජන මුදලින් යවපු ඒ වැඩමුළු පාඨමාලාවලින් රටට වැඩක් කළාද..?
අපි ආණ්ඩුවට සම්බන්ධ ප්‍රධාන පක්ෂයක කොටස්කරුවන් වුවත් පාට පක්ෂ කිසිම භේදයකින් තොරව අපේ මතය ප්‍රකාශ කරනවා. එය වළක්වන්නට කාටවත් බැහැ.

පණ්ඩුක සමරසේකර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්