හම්බන්තොට වරාය පෞද්ගලීකරණය කිරීමේදී ආණ්ඩුව වැඩි කොටස තබා ගත යුතුයි

  👤  3199 readers have read this article !
By mawbima 2017-04-19

හම්බන්තොට වරාය පෞද්ගලීකරණය කරනවා නම් ආයෝජකයන්ට අඩු ප්‍රමාණයක් ලබා දී ආණ්ඩුව වැඩි ප්‍රමාණයක් ලබා ගත යුතු යැයි වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
අමාත්‍යවරයා එසේ කීවේ පෙරේදා (17දා) වරාය අමාත්‍යාංශයේදී පැවැති උත්සවයකදීය.
එම අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙසේද පැවැසුවේය.

පසුගිය වසරේ වරාය අධිකාරිය ප්‍රශ්න රාශියකට මුහුණ දුන්න ආයතනයක් බවට පත්වුණා. ඒ වගේම වරාය අධිකාරිය සතු ප්‍රධාන සාධක පෞද්ගලීකරණය කිරීමේ ප්‍රශ්නවලටත් මුහුණ දෙන්න සිද්ධ වුණා. ඉදිරියේදීත් අපට ප්‍රශ්න සමඟ ජීවත්වෙන්න සිදු වේවි. අපිට එහෙම නැහැ කියලා කියන්න අමාරුයි. වරාය අධිකාරියක් හැටියට තමුන්නාන්සේලාගේ වගකීම විය යුත්තේ මේ වරාය අධිකාරිය ආරක්ෂා කර ගැනීමයි. මගේ වගකීම වන්නේ එය ආරක්ෂා කිරීමට අවශ්‍ය පසුබිම පිළිබඳව කැබිනට් මණ්ඩලය හා රට දැනුවත් කිරීමයි.

මම දන්නවා හම්බන්තොට ප්‍රශ්නෙදි හා බෝනස් ප්‍රශ්නෙදිත් මෙතැන ඉන්න බොහෝ දෙනෙක් එකට එකතු වුණු නිසා අපට ඒ ප්‍රශ්නවලින් ගොඩ එන්න පුළුවන් වුණා. නමුත් පසුගිය අවුරුදු දෙකටම වඩා මම දකින්නේ මේ අවුරුද්ද තමයි තීරණාත්මක අවුරුද්ද. එක පැත්තකින් මුහුදේ ගැඹුර නිසා අපිට තිබෙන ව්‍යාපාර අඩුවීගෙන යනවා. අනෙක් පසින් අපට පෞද්ගලීකරණය කිරීමේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම නැඟෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් විශාල ආනේදෝලනාත්මක කතා තියනවා. මේ සියල්ලටම වඩා හම්බන්තොට ප්‍රශ්නය ඉතාම ශීඝ්‍රයෙන් ඔඩුදුවලා තියෙනවා. මේ සඳහා මුහුණ දෙන්න අපිට ශක්තියක් තියෙන්න ඕනේ. තමුන්නාන්සේලාටත් ඒ වගකීම තියෙන්න ඕනේ.
මම කැමැති නැහැ අනෙක් ඇමැතිවරු වගේ යම් කිසි කාල සීමාවකට ඇවිල්ලා ඒ කාලය තුළ තියෙන දේ පමණක් කරලා යන්න. පළමු වතාවට අපිට පුළුවන් වෙලා තියෙනවා සියලු පක්ෂ එකමුතුව අලුත් ආණ්ඩුවක් හදන්න.

ප්‍රධාන පක්ෂ දෙකට අමතරව දෙමළ, මුස්ලිම් සියලු දෙනා එකතු වෙලයි මේ ආණ්ඩුව හදලා තියෙන්නේ.
රටක් හැදිය යුත්තේ අපි ශ්‍රී ලාංකිකයන් විදියටයි. ඒ ක්‍රමවේදය අපි මේ රටේ ඇති කළොත් මම හිතනවා අපිට පුළුවන් වෙනවා මේ රට වෙනස් තත්ත්වයකට රැගෙන යෑමට.

මේ උත්සව අවස්ථාවට වරාය සහ නාවික අමාත්‍යාංශයේ ලේකම් එල්.පී. ජයම්පති, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංග, කළමනාකාර අධ්‍යක්ෂ සරත් කුමාර ප්‍රේමචන්ද්‍ර මහත්වරුන් ඇතුළු නිලධාරීන් සහ සේවක මහත්මීහූ රැසක් එක්ව සිටියහ.
ක්‍රිෂාන් පතිරත් ජයසූරිය

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්