පෙරළෙයිද?

  👤  3666 readers have read this article !
By mawbima 2017-02-17

කීර්ති රාජසිංහ

'ආණ්ඩුව පෙරළෙයි නේද?'

'ඇයි එහෙම කියන්නේ'

'යන විදිහ පේන්නේ නැද්ද? හැමදේම අනාගෙන. මහින්දත් කීවේ මේ අවුරුද්දේ ආණ්ඩුව පෙරළනවා කියලා'

'මහින්ද එහෙම කීවට කවදාවත් තීරණාත්මක වෙලාවක වැඩට බැහැලා තියෙනවාද?'

'ඕන වෙලාවට මිනිහා වැඩට බහී. ආණ්ඩුව පවතින්නේ කවදාවත් එකතු වෙන්න බැරි දෙගොල්ලක් එකතු වෙච්ච ඔළු ගෙඩි ටිකකින්. කොයි වෙලාවේ ගැලවෙයිද කියන්න බෑ. එහෙම එකේ මේ ආණ්ඩුව පෙරළන එක කජු කනවා වගේ වැඩක්'

මේ බස් එකක මගීන් දෙදෙනකුගේ කතාවකි. මේ දිනවල මේ වගේ කතා අසන්නට ලැබේ.

තැන තැන අලකලංචි ගොඩකි. එක පැත්තකින් සයිටම් ප්‍රශ්නයය. තව පැත්තකින් මහ බැංකු බැඳුම්කර ප්‍රශ්නයය. ඊයේ පෙරේදා හාල් ප්‍රශ්නයක්ද මතු විය. ඒ අතර ලොතරැයි ප්‍රශ්නයකුත් මතු වෙලාය. සියල්ල මැද ආණ්ඩුවේ සමහර ප්‍රධානීන්ට චෝදනාද මතුවෙමින් තිබේ. සමහරුන් කියන්නේ ආණ්ඩුව අනාගනිමින් සිටින බවකි. තවත් සමහරුන් කියන්නේ 'මෛත්‍රි රනිල් දීගේ වැඩි කල් දුවන පාටක් නැහැ වෙන් වෙන්න ඔන්න මෙන්න' කියලාය.

2017 ආණ්ඩුව පෙරළනවා

2016 දෙසැම්බර් 29 වැනිදා ශ්‍රී ලංකාවේදී විදේශීය වාර්තාකරුවන් හමුවූ වෙලාවේ මහින්ද කීවේය.

'ආණ්ඩුව පෙරළනවා. හැබැයි ඒ කුමන්ත්‍රණ කරලා නෙවේ. ඒක කරන්නේ එළිපිටමයි' මහින්ද කීවේ මෛත්‍රිට 'හින්ට්' එකක් පාස් කරමින් වගේය. තාත්තගේ කතාව තහවුරු කරමින් ඊයේ පෙරේදා නාමල්ද කීවේ ආණ්ඩුව ගෙදර යවන්න සූදානම් බවය. ඒකාබද්ධ විපක්‍ෂයේ හැමෝම කියන්නේ ඔය කතාවය. එහෙම බලනකොට 58 ලක්‍ෂයක් ඉන්නේ 'ත්‍රිල්' එකෙන්ය. කැවුම් කිරිබත් උයා සමරන්නට ඔවුහු සිහින දකිමින් සිටිති. ඔවුන් හිතාගෙන ඉන්නේ ආණ්ඩුවේ 'අලි කචල්' කියලාය. රනිල් මෛත්‍රි විරසක වෙලා කියලාය.
'මම සතියක කාලයකට ස්විට්සර්ලන්තයට යනවා. ඒ කාලය තුළ මම මහින්දට අවස්ථාවක් දෙනවා ආණ්ඩුව පෙරළන්න' අගමැති රනිල් එහෙම කියා ඒ දවස්වල ස්විට්සර්ලන්තයට ගියේය.

'අවසානයේදී ආණ්ඩුවත් මේ විදියටම තියේවි, එයත් මහින්ද රාජපක්‍ෂ වගේම ඉඳීවි' රනිල් එහෙමත් කීවේය. රනිල් එහෙම කියතැයි සමහරවිට මහින්ද කොහොමටවත් නොහිතන්නට ඇත. ගුවන් තොටිල්ල ගැස්සුණේ නොහිතූ විදිහට රනිලුත් 'කෝචොක්' කරපු නිසාය.

කොහොම නමුත් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව අතර විරසකයක් ඇතැයි යන මතයක් රට පුරා බෝවී තිබිණි. ඇත්තෙන්ම ආණ්ඩුවේ සමහර වැඩ ගැනත් - අමාත්‍යාංශවල යම් යම් කටයුතු ගැනත්, ජනාධිපතිවරයා උන්නේ නොසතුටිනි. තැටිය රත් වෙමින් තිබෙන බවට විශ්වාස කළේ ඒකාබද්ධ විපක්‍ෂයයි. ඒකාබද්ධ විපක්‍ෂය නුගේගොඩට ජන ගඟක් ගෙනාවේ ඔය අතරය. ඩේ‍රා්නවලිනුයි සමාජ ජාලවලිනුයි රැලියේ සෙනඟ පෙන්නපු හැටියට 'ආණ්ඩුව පෙරළෙන්න ඔන්න මෙන්න යැයි' කෙනකුට නොහිතුණොත් පුදුමය. පසුගිය ජනාධිපතිවරණයේදීත් මහ මැතිවරණයේදීත් මහින්දලාගේ ප්‍රචාරණ උපක්‍රමය වූයේ 'ජනසන්නිපාතය' පෙන්නා ප්‍රතිවාදීන්ට 'උණ සන්නිපාතය' හැදෙන්නට සැලැස්වීමය. එහෙත් ප්‍රතිඵල එද්දී' සහලවලා උණ ගත්තේ මහින්දලාටය.

එහෙම බැලුවම මහපොළව ඇතුළේ වැඩේ හිතන තරම් ලේසි නැත.

ඒකාබද්ධ විපක්‍ෂය ෆෝම් වුණාට අය-වැයේදී මහින්ද මඟහැරියේය. තීරණාත්මක විශ්වාසභංගය වෙලාවෙත් මඟහැරියේය. එදා ඔහු කළේ ජපන් යන එකය. මෛත්‍රි කළේ පාර්ලිමේන්තු ඇවිත් විශ්වාසභංගය දිනන්න කැම්පේන් කරපු එකය. මහින්ද පාර්ලිමේන්තු විවාද අවස්ථාවලදීත් මඟ හැරියේය. මේ දිනවල සද්දෙට ඇහෙන සයිටම් ප්‍රශ්නයේදීත් 'මහින්ද' සද්ද නැත. එහෙව් මහින්ද ආණ්ඩු පෙරළන්න වෙඩි මුර තබයි කියා දැනුම් තේරුම් තියෙන කෙනෙක් හිතන්නේ නැත.

'විජයග්‍රහණය සැමරුම් අභිමුව අන් සියල්ලන් පෙරමුණෙහි ද ඔබ ඔවුන් පසුපසින් ද හිඳ නායකත්වය දිය යුතු වන්නේය. එහෙත් අභියෝගයන් සහ අනතුරු අබිමුවෙහි දී ඔබ හැමවිටම පෙරමුණ ගත යුතු වන්නේය. එවිට නායකයකු ලෙස ඔබ සියල්ලන්ගේම ගෞරවාදරයට පාත්‍ර වනු ඇත.'

එහෙම කියන්නේ නෙල්සන් මැන්ඩෙලාය. එහෙත් මේ මොහොතේ මහින්ද ගාව නැත්තේද ඒකමය.

'මහින්දයි රනිලුයි අතර ඩීල් එකක් ඇති'

සමහරුන් එහෙම කියන්නේ ඒ වගේ වෙලාවටය. ඒත් 'මම සතියක කාලයකට ස්විට්සර්ලන්තයට යනවා. ඒ කාලය තුළ මම මහින්දට අවස්ථාවක් දෙනවා ආණ්ඩුව පෙරළන්න' යැයි කීවාම ඔය කියන තරම් ඩීල් එකක් නැතිව ඇති යැයි සමහරුන්ට හිතෙන්නට ඇත.

පියංකර ජයරත්න ඇමැතිකම දමා එද්දී පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග කීවේ

'2017 අලුත් ආණ්ඩුවක් පිහිටුවන බවට මේ රටේ ජනතාවගේ බලාපොරොත්තුවක් තිබෙන බවත් එහි හොඳ පෙරනිමිත්තක් වශයෙන් එක ඇමැතිවරයකු ඇමැති ධුරයෙන් ඉවත්වී තිබෙන බවත්ය. එහෙත් 2005 මහින්දගේ ආණ්ඩුවෙන් ගැලවිලා ගියේ මංගල, ශ්‍රී පති වගේ බල කණුය. එහෙම කියා මහින්දගේ ආණ්ඩුව හෙල්ලුණේ නැත. අවුරුදු ගාණක් විපක්‍ෂයේ තපින්නට වුණේ මංගලලාටය.

19 වැනි සංශෝධනය අනුව වසර හතර හමාරක් යනතුරු පාර්ලිමේන්තුව විසිරුවා හරින්නට බැරිය. ඒ නිසාම නව මැතිවරණයකින් පාර්ලිමේන්තුවේ බලය ලබා ගැනීමේ හැකියාව සැබෑ නොවෙන සිහිනයක් පමණි.

එහෙම බැලුවම එක්කෝ ඒකාබද්ධ විපක්‍ෂය රැවටිලාය. නැත්නම් මහින්ද රැවටිලාය. දේශපාලනයේ තෙම්පරාදු වෙච්ච මහින්ද රැවටෙයිද? කවුරුහරි එහෙම හිතනවා නම් කියන්න තියෙන්නේ 'මහින්ද ජේ‍යාතිෂකාරයකුටත්' රැවටුණු බව අමතක කරන්න එපා කියන එකය.

මේ අවුරුදු දෙක තුන තුළ මහින්ද නැවත බලයට ගේනවා නම් ඒක කරන්න පුළුවන් මෛත්‍රිට විතරය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකාවේ ජනරජයේ රාජ්‍ය නායකයා වන්නේ ජනාධිපතිවරයාය. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූවාට පසුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 වැනි වගන්තිය විස්තර කරන්නේ මෙහෙමය.

30 (1) ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයෙක් වන්නේය. ජනාධිපතිවරයා රජයේ ප්‍රධානියා ද, විධායකයේ ප්‍රධානියාද, ආණ්ඩුවේ ප්‍රධානියාද, සන්නද්ධ සේවාවන්හි සේනාධිනායකයා ද වන්නේය.

(2) ජනරජයේ ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරා පත් කර ගනු ලැබිය යුතු අතර පස් අවුරුදු කාලයක් ධුරය දරන්නේය.

අමාත්‍ය මණ්ඩලය පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙසේ සඳහන් වෙයි

42 (1) වගන්තිය අනුව ආණ්ඩුවේ පාලනය මෙහෙයවීම සහ ඒ පාලනය පිළිබඳ විධානය භාර අමාත්‍ය මණ්ඩලයක් සිටින අතර 42 (1) අනුව එම අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වන්නේද ජනාධිපතිවරයායි. 42 (4) වගන්තිය අනුව පාර්ලිමේන්තුවේ වැඩිම විශ්වාසය ඇතැයි ජනාධිපතිවරයාට හැඟෙන මන්ත්‍රිවරයකු අගමැති ලෙස පත් කිරීමට ජනාධිපතිවරයාට හැකියාව තිබේ.

කොහොම වෙතත් රටේ ජනාධිපති වීමට ව්‍යවස්ථානුකූලව මහින්දට කෙසේවත් ඉඩක් නැත. වැරැදීමකින් හෝ බලය ලැබුණොත් යා හැකි ඉහළම දුර 'අගමැති' කමය. ඒ සඳහා ජනාධිපතිවරයා විසින් ඔහුට ආරාධනාවක් කළ යුතුය. එහෙම ආරාධනාවක් කරන්නට තිබෙන ඉඩ හිතා ගන්නට බැරි තරම් දුරය.

මහින්ද ආණ්ඩුව ගෙදර යවන්න වෙඩි මුර තිබ්බේ ජ.වි.පෙ. ය. ඊට පස්සේ ටී.එන්.ඒ. එකය. මේ දෙගොල්ල නැතිව මහින්දලා ආණ්ඩුව පෙරළිය යුත්තේ කා සමඟද. යූ.එන්.පී.යේ 'රොත්තක්' ගැලවීම පහසු නැත.

මොන මොන මතවාද සහ රණ්ඩු තිබුණද රනිල් - මෛත්‍රි දෙදෙනා අවබෝධයෙන් යුතු ගමනක යෙදේ. මීට පෙර ඉතිහාසයේ නොවූ විරූ ආගන්තුක අත්දැකීමක් මේ ආණ්ඩුව අත්විඳිමින් සිටී. 'යාදෙක නොරත රත' කියා කීවද කෙසේ හෝ පෑහී නොපෑහී ගමනක් යමින් සිටිති.

බැලූ බැල්මට අවුලක් පෙනෙන්නට තිබුණද දේශපාලන පරිණත බවකින් යුක්ත නායකයන් දෙදෙනකු එක්ව ගමනක් යමින් සිටින බව කිව යුතුය.

බලය ඕනෑ නම් මහින්ද තෝරාගත යුතු වන්නේ මෛත්‍රි දිනා ගැනීමය. එහෙත් ඒ වෙනුවට සිදු වන්නේ මෛත්‍රි දුරස් වීමය. රනිල්ටත් වඩා මහින්දට මෛත්‍රි දුරස් බව තිත්ත ඇත්තය. පසුගියදා නුගේගොඩ රැලියට ගොඩවී මහින්ද ආණ්ඩුවට අභියෝග කරනදාට පසුදා මෛත්‍රි සැර කතාවක් කළේය. යහපාලන රජයේ දෙවැනි සංවත්සරය අවස්ථාවේ කළ ඒ කතාවෙන් දේශපාලන ලෝකය උඩුයටිකුරු වී ගියේය.

'සමහරු හීන දකිනවා අලුත් ආණ්ඩුවක් හදන්න. ඒක නම් හැබෑ වෙන්නේ නෑ. සම්මුති ආණ්ඩුව අවුරුදු පහම කරගෙන යෑම ස්ථිරයි. 2020න් පස්සේ ආණ්ඩු කරන්නේ කවුද කියලා බලමු. ඒ ගොල්ලන්ට ඉන්න වෙන්නේ පාරේ ඇවිද ඇවිද 'ඔහු කීවේ එහෙම කතාවක්ය.

එහෙම යද්දී මේ ගමන නොදන්නා දේශපාලන ළදරුවෝ දෙපැත්තෙම සිටිති. වැඩි පංගුව බෙදාගෙන 'බදාගෙන කෑමට' ඔවුහු උත්සාහ කරති. යහපාලන සහජීවන ආණ්ඩුව පරිස්සමෙන් යා යුත්තේ ඒකාබද්ධ විපක්‍ෂයෙන් නොවේ. අර වගේ දේශපාලන ළදරුවන්ගෙන්ය. ආණ්ඩුව පෙරළන බවට හම්බන්තොට නාමල් රාජපක්‍ෂ පාරම්බාද්දී හම්බන්තොට මහින්ද අමරවීර කදිම උත්තරයක් දුන්නේය.

"සමහරු හිතාගෙන ඉන්නවා මේ ආණ්ඩුව අද වැටෙයි, හෙට වැටෙයි, ඊළඟ පෝයට වැටෙයි කියලා. නමුත් අපි කියනවා මේ ආණ්ඩුව කාටවත් 2020 වන තෙක් හොල්ලන්න බැහැ. ආණ්ඩුව වට්ටවලා බලය ලබා ගන්න සමහරු හීන දකිනවා. හීන දකින්න ඔවුන්ට අයිතිය තිබෙනවා. හැබැයි ඒ හීන කවදාවත් යථාර්ථයක් බවට පත් වන්නේ නෑ. අවුරුදු 17ක් එක්සත් ජාතික පක්‍ෂ පාලනයක් තිබෙන විට අපිත් එවැනි හීන දැක්කා. ඒ වගේම අපි ආණ්ඩුව අරන් අවුරුදු 20කට වැඩි කාලයක් ආණ්ඩුව කළා. ඒ කාලේ එක්සත් ජාතික පක්‍ෂයත් ඒ වගේ හීන දැක්කා.

අවුරුදු 22කට පස්සේ ආණ්ඩු වෙනසක් වුණේ නෑ. අපේ පක්‍ෂයේ මහලේකම්වරයා පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වෙලා අද මේ ආණ්ඩුවේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරනවා. එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකයා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකයා වශයෙන් මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා කටයුතු කරන තාක්, මේ පක්‍ෂය විනාශ කරන්න කාටවත් ඉඩ ලැබෙන්නේ නෑ. අතීතයේදී සමහරුන් උත්සාහ කළා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විනාශ කරන්න. නමුත්, පක්‍ෂය ශක්තිමත් වුණා. ඒ පුද්ගලයන් ඉතිහාසයේ කුණු බක්කියට විසි වුණා."

ජේ.ආර්. හැදූ ව්‍යවස්ථාවට අනුව ආණ්ඩුව බලය රැක ගැනීමටත් විපක්‍ෂය බලය ලබා ගැනීමටත් උත්සාහ කිරීම ඒකාන්ත තත්ත්වයක්ය. එය එහෙම පිටින්ම 'මැකියාවෙලීගේ' 'ද ප්‍රින්ස්' සිස්ටම් එකය. එහෙත් පවතින තත්ත්වය ඇතුළේ මහින්දලාට ඒක පහසු නැත.

ඉතින් ආණ්ඩුව පෙරළන කම් බලන් ඉන්න අය තව ටිකක් හිතන එක හොඳය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්