අප්‍රිකාවේදී පෙන්වපු විස්සෙ වැඩ ලංකාව අද එම්.සී.ජී.හිදී පෙන්වයිද

  👤  3815 readers have read this article !
By mawbima 2017-02-17

තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රීඩා පිටියේදී (එම්.සී.ජී.) අද (17දා) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.10ට ආරම්භ වීමට නියමිතව ඇතත්, මෙවර ඕස්ට්‍රේලියාව බලා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙන්ම සත්කාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමේද මුහුණු රැසක් වෙනස්වීම විශේෂත්වයකි.

එනම් ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායම මේ දිනවල ඉන්දියාවේ සංචාරයක් ආරම්භ කර ඇති බැවින් නායක ස්ටීව් ස්මිත්, ඩේවිඩ් වෝනර්, මිචෙල් ස්ටාක්, ග්ලේන් මැක්ස්වෙල් හා ජොස් හැස්ල්වුඩ් වැනි නිත්‍ය සාමාජිකයන් මෙවර ඔවුන්ගේ විස්සයි-20 කණ්ඩායමට ඇතුළත් නොවන අතර, පසුගිය දකුණු අප්‍රිකානු විස්සේ තරගාවලිය ජයගත් පිලේ සිටි ඇන්ජිලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, තික්ෂිල ද සිල්වා යන ක්‍රීඩකයන් වෙනුවෙන්ද නවක මුහුණු ආදේශන සිදුකරමින් ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර ඇත.
තවද ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ජයි රිචඩ්සන්, ඇස්ටන් ටර්නර් මයිකල් ක්ලින්ගර් වැනි ක්‍රීඩකයන් එකතු වෙද්දී වසරකට පසු එක්වූ ලසිත් මාලිංග සමඟ මිලින්ද සිරිවර්ධන, චාමර කපුගෙදර, ඩිල්ෂාන් මුණවීර හා දසුන් ශානක යන ක්‍රීඩකයන්ද ශ්‍රී ලංකා කණ්ඩායමට එක්ව සිටීමද කැපී පෙනේ. කෙසේ වෙතත් වාර්තා වන පරිදි ඕස්ට්‍රේලියානු පිලේ ආරම්භක පිතිකරු ස්ථානය ගැනීමට ආරොන් ෆින්ච්, මයිකල් ක්ලින්ගර්, බෙන් ඩන්ක් හා ටිම් පේනි යන පසුගිය බිග් බෑෂ් ලීග් තරගාවලියේදී දක්‍ෂතා දැක්වූ පිතිකරුවන් රැසක්ම සිටින අතර, පැට් කමින්ස් හා ජේම්ස් ෆෝක්නර් ඔවුන්ගේ වේගපන්දු අංශය ශක්තිමත් කරනු ඇත.

අද දෙරට අතර 11 වැනි විස්සයි-20 තරගයට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම ගැන සැලකූ විට පසුගිය බදාදා පැවැති පුහුණු තරගය ජයග්‍රහණය කළ ක්‍රීඩකයන්ම අද තරගයට සහභාගි වන බව දැනගන්නට ඇති අතර, වෙනසක් සිදු වන්නේ නම් නුවන් කුලසේකර අද තරගයට ක්‍රීඩා කරනු ඇතැයි පැවැසේ.

අද තරගයට සහභාගි විය හැකි
ශ්‍රී ලංකා කණ්ඩායම _
නිරෝෂන් දික්වැල්ල, උපුල් තරංග, (නායක), ඩිල්ෂාන් මුණවීර, අසේල ගුණරත්න, මිලින්ද සිරිවර්ධන, චාමර කපුගෙදර, සික්කුගේ ප්‍රසන්න, නුවන් කුලසේකර, ඉසුරු උදාන, ලසිත් මාලිංග, විකුම් සංජය.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම _
ආරොන් ෆින්ච් (නායක), මයිකල් ක්ලින්ගර්, බෙන් ඩන්ක්, ට්‍රෙවිස් හෙඩ්, මොයිසස් හෙන්රිකස්, ටිම් පේනි, ඇස්ටන් ටර්නර්, ජේම්ස් ෆල්ක්නර්, පැට් කමෙන්ස්, ඇඩම් සම්පා, ඇන්ඩෘෘ තයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon