මහාධිකරණයෙන් ඇප නියම වූ සුමිත් චම්පික මහෙස්ත්‍රාත් අධිකරණයෙන් යළි රිමාන්ඩ්

  👤  3670 readers have read this article !
By mawbima 2017-02-17

ඉෂාර රත්නකාර

කොළඹ මහාධිකරණය මඟින් ඊයේ (16දා) ඇප මත මුදා හරිනු ලැබූ රගර් ක්‍රීඩක තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන නාරහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්පික පෙරේරා මහතා ලබන මාර්තු 02 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් දමින්ද වැලිගොඩපිටිය මහතා නියෝග කෙළේය.

තාජුඩීන් ඝාතන නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගන්නා අවස්ථාව වන විට මහාධිකරණ ඇප නියෝගය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ලැබී නොතිබීම හේතුවෙන් අතිරේක මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

තාජුඩීන් ඝාතන සිද්ධියට අදාළව රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මාස 9කට අධික කාලයක් රිමාන්ඩ් භාරයේ සිටි සුමිත් පෙරේරා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා ඊයේ පෙරවරුවේදී නියෝග කළේය.

සුමිත් පෙරේරා මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අජිත් පතිරණ මහතා දැක්වූ කරුණු සැලකිල්ලට ගත් විනිසුරුවරයා එලෙස ඇප නියෝග කළේය.

රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 3ක් මත සුමිත් පෙරේරා මහතා මුදා හරින ලෙස නියම කළ විනිසුරුවරයා ඔහුගේ විදේශ ගමන්ද තහනම් කළේය. ඇප තැබීමෙන් අනතුරුව සෑම මසකට වරක් රහස් පොලිසිය හමුවේ පෙනී සිටින ලෙසද විනිසුරුවරයා සැකකරුට නියම කළේය.

තාජුඩීන් ඝාතනයට අදාළව රිමාන්ඩ් භාරයට පත් කර තිබෙන අනෙක් සැකකරු වන බස්නාහිර පළාත් හිටපු ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාද ලබන මාර්තු 2 වැනි දින තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon