හොර රහසේ කරන සැලැසුම් නතර නොකළොත් රටේ සියලු බලවේග සමඟ පාරට බහිනවා

  👤  3822 readers have read this article !
By mawbima 2017-02-17

උදයන්ති මුණසිංහ

උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල නොයෙකුත් කමිටු හදමින් පෞද්ගලික විශ්වවිද්‍යාල තව තවත් ශ්‍රී ලංකාවට ගෙන ඒමට හොර රහසේ කරන සැලැසුම් නතර නොකළහොත් මේ රටේ සියලු බලවේග සමඟ ඉදිරියේදී පාරට බැසීමට සූදානම් බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් පවසයි.
ඔහු මේ බව පැවැසුවේ කොළඹ විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය විසින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අහෝසි කරන ලෙසට බලකරමින් සංවිධානය කළ පාගමන අවසානයේදී විශ්වවිද්‍යාල භූමියේ පැවැති උද්ඝෝෂණ රැලියේදීය.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අහෝසි කිරීමට බල කරමින් කොළඹ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ලෙස විශ්වවිද්‍යාලයේ සියලු පීඨවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙලෙස පා ගමනක් සංවිධානය කළ මොහොත වන විටත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අහෝසි කරන ලෙස රටපුරා දැවැන්ත විරෝධයක් ක්‍රියාත්මක වන බවත් ඔහු පැවැසීය.
එමෙන්ම ශිෂ්‍යයන්, වෛද්‍යවරුන්, ආචාර්යවරුන්, ගොවියන්, කම්කරුවන් ඇතුළු සියලුදෙනා මෙම සටන වටා පෙළගැසී සිටින බවත්, හෝමාගම රෝහලේ වෛද්‍යවරුන් පවා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අහෝසි කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණයේ නිරත වන බවත් ඔහු කීවේය.

මේ වන විටත් රටේ සියලුම ජනතාව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අහෝසි කරන ලෙස විරෝධතා පළ කරද්දීත් වත්මන් ආණ්ඩුව මේවා ආරක්‍ෂා කරන බවට ඔහු චෝදනා කළේය.

පසුගිය දිනෙක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා වෛද්‍ය පීඨවල පීඨාධිපතිවරුන් ගෙන්වා පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට ළමයින් බඳවා ගැනීම මාස 6කින් නවත්වන බවට සඳහන් කළද පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවල සිසුන්ට මාස 4ක කාලයක් සායනික පුහුණුව ලබාදී වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාදිය යුතු යැයි ප්‍රකාශයක් කර තිබෙන බවද ඔහු කීවේය.

පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යවරයා නොයෙක් කමිටු හදමින් සිටින බවටත්, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරක්‍ෂා කරමින් ලංකාව තුළ තව තවත් පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරීමට සැලැසුම් සකස් කරන බවටත් ඔහු චෝදනා කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon