ප්‍රශ්නවලින් හෙම්බත්වී සිටින ජනතාවට ආචාර්ය උපාධි පම්පෝරිවලින් පලක් නැහැ

  👤  3746 readers have read this article !
By mawbima 2017-02-17

උදයන්ති මුණසිංහ

රටේ මෙතරම් ප්‍රශ්න ඇතිව තිබියදීත් ඕස්ට්‍රේලියාවෙන් ආචාර්ය උපාධිය ලැබුණු බව පවසමින් අගමැතිවරයා පම්පෝරි ගසන බවත්, ජීවන වියදම ඉහළ ගොස් රටේ ජනතාවට ජීවත්වීමට පවා සුදුසු වාතාවරණයක් නොපවතින තත්ත්වයක මෙම උපාධිවලින් ජනතාවට ප්‍රයෝජනයක් නොවන බව ලංකා සම සමාජ පක්‍ෂයේ මාධ්‍ය ප්‍රකාශක බද්දේගම සමිත හිමියෝ පවසති.

උන් වහන්සේ මෙසේ පැවැසුවේ ඊයේ (16දා) සම සමාජ පක්‍ෂ මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.

මේ ආණ්ඩුව සිදුකරන්නේ රටේ සියලු සම්පත් තමන්ගේ ගජ මිතුරන්ට විකුණමින් පෞද්ගලික අංශය දියුණු කිරීමට උත්සාහ දැරීම බවත්, ජනතාවගේ බත් කන අයිතියද මේ ආණ්ඩුව උදුරාගෙන තිබෙන බවත්, අද වන විට අධිකරණයේ ස්වාධීනත්වය පවා නැති වී ගොස් තිබෙන බවත් උන්වහන්සේ පවසති.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමිත හිමියෝ මෙසේද පැවැසූහ.

අද වෙනකොට රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. හම්බන්තොට වරාය සම්බන්ධ කාරණයේදී මේ යහපාලන ආණ්ඩුවෙ දෙපැත්තෙම එකඟතාවක් තිබුණේ නැහැ. එක්සත් ජාතික පක්‍ෂයේ පැරැණි පුරුදු මැර ක්‍රියාදාමය අනුගමනය කරලා එදා හම්බන්තොට ජනතාවට පහර දුන්නා. දැන් මේ වෙනකොටත් පොලිසිය හරහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ මන්ත්‍රිවරුන් අත්අඩංගුවට ගන්න ලැයිස්තු හදමින් ඉන්නවා. දැන් ඉන්න පොලිස්පති පක්‍ෂග්‍රාහී පුද්ගලයෙක්. ඔහු පක්‍ෂග්‍රාහී ලෙස වැඩ කරනවා. ඒ වගේම මේ වෙනකොටත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ විශාල තරුණ පිරිසක් අත්අඩංගුවට ගන්න හොයනවා. හේතුව තමයි තමන්ගේ ඉඩම් අනූනව අවුරුදු බද්දට දෙන එකට විරුද්ධව ඔවුන් පාරට බැහැපු එක.

මේ ආණ්ඩුවට පොදු එකඟතාවක් නැහැ වගේම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. ජනතාව දැන් දැඩි පීඩනයට ලක්වෙලා ඉන්නෙ. මේ වෙනකොටත් ආණ්ඩුව බොරු හේතු ඉදිරිපත් කරලා පළාත් පාලන මැතිවරණය කල් දානවා. ජනතාවගේ ඡන්ද අයිතිය උදුරගෙන ඉන්නවා. ඉදිරියේදී යම් පනතක් පාර්ලිමේන්තුවට ගෙනල්ලා පළාත් පාලන ඡන්ද පවා කල් දාන්න මේ ආණ්ඩුව කටයුතු කරන්න පුළුවන්.

අද රටේ හාල් අර්බුදයක් ඇති වෙලා. ජනතාවගේ බත් කන අයිතිය පවා මේ ආණ්ඩුව උදුරගෙන ඉන්නවා. එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව එදා ඉඳලම කළේ රටේ කෘෂිකර්මාන්තය නැති කරන්න කටයුතු කරපු එක. දැන් වෙනකොට ඕස්ට්‍රේලියාවෙන් ආචාර්ය උපාධියක් හම්බ වුණා කියලා මහ ලොකු පම්පෝරි ගහනවා. මම අහන්න කැමැතියි රනිල් වික්‍රමසිංහගෙන් මේ රටේ මෙච්චර ලොකු විනාශයක් කරපු නිසාද ආචාර්ය උපාධිය ලැබුණෙ කියලා. මේවයින් ජනතාවට ජීවත් වෙන්න විදියක් නැහැ. දැන් කියනවා රනිල් ඕස්ට්‍රේලියාවෙ ගිය නිසා අපේ රටේ ළමයින්ට ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපන කටයුතු කරන්න අවස්ථාව ලැබෙනවා කියලා. ඕස්ට්‍රේලියාව අපිට නොමිලේ අධ්‍යාපන කටයුතු කරන්න දෙන්නෙ නැහැ. මම ආණ්ඩුවට කියනවා මිනිසුන්ට බොරු හීන පෙන්නන එක නවත්වන්න කියලා.

එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රිවරු මේ ආණ්ඩුවෙ ඇමැතිකම් ලබාගෙන ඉන්නව නම් කරුණාකරලා එළියට බහින්න කියලා මම කියනවා. මේක ජනතා ද්‍රෝහී ආණ්ඩුවක්. මේ ආණ්ඩුවත් එක්ක කටයුතු කරන එක ඔබලගෙ මූලික ප්‍රතිපත්තිවලට විරුද්ධයි. ඔබලාට මහජනතාව ඡන්දය දුන්නෙ විපක්‍ෂයෙ ඉඳලා ජනතාව වෙනුවෙන් හඬක් නඟන්න මිසක් මේ ආණ්ඩුව රකින්න නෙමෙයි.

මෙහිදී අදහස් දැක්වූ සම සමාජ පක්‍ෂයේ ප්‍රධාන ලේකම් තිස්ස විතාරණ මහතා.

පසුගිය ආණ්ඩුව කාලයේදී අපි තීරණයක් ගත්තා රට ස්වයංපෝෂිත කරන්න වී වගා කරලා වී අතිරික්තයක් ගබඩා කරලා තියාගන්න. එදා අපි කෘෂිකර්ම ප්‍රතිපත්ති සකස් කරලා කටයුතු කළා. අපේ අරමුණු වුණේ සාධාරණ මිලක් වී ගොවියාට ලබා දෙන ගමන් අනෙක් පැත්තෙන් පාරිභෝගිකයාට සාධාරණ මිලට සහල් ලබා දෙන්න. මේ වෙනකොට වර්තමාන ආණ්ඩුව මේ සියල්ලම අවුල් කරලා තියෙන්නෙ.

අම්පාරේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් ඊයේ මාත් එක්ක කිව්වා අම්පාරෙත් හාල් හිඟයක් තියෙනවා කියලා. ඒත් එක්කම රජය නියම කරපු මිල ගණන්වලට ඒ පළාත්වල සහල් අලෙවි කරන්නෙ නැහැ.

ලංකාවෙ වී හිඟයක් ඇති වුණේ ආණ්ඩුවෙ වැරැදි ප්‍රතිපත්ති නිසා. ගොවීන්ට වීවලට ලැබෙන්නෙ රුපියල් තිස් එකක් විතරයි. කලින් රුපියල් හතළිස් එකක් ලැබුණා. දැන් රටේ තියෙන හාල් හිඟය නිසා පිටරටින් හාල් ගේන්න සිද්ධ වෙලා තියෙනවා. පිටරටින් හාල් ගේන නිසා දැන් මෝල් හිමියෝ ගොවියන්ට වීවලට රුපියල් 31 කට වඩා ගෙවන්නෙ නැහැ. මේ ආණ්ඩුවෙන් මහා පරිමාණ මෝල් හිමියන්ට වාසි සලසනවා. ඔවුන් අතේ තමයි රටේ සහල් ගොඩගැහිලා තියෙන්නෙ. ගොවීන්, පාරිභෝගිකයන් තළාපෙළා දාන්න මේ ආණ්ඩුව කටයුතු කරනවා. රටේ ස්වයංපෝෂිත භාවය නැති කරන්න මේ ආණ්ඩුව කටයුතු කරලා.

ඒ වගේම අපේ රටේ මේ වෙනකොට තියෙන තවත් ප්‍රශ්නයක් තමයි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගැටලුව. අපි කියනවා වෛද්‍ය සභාවේ අනුමැතිය සහ උපදෙස් ඇතිව මේ ප්‍රශ්නයේදී ආණ්ඩුව කටයුතු කළ යුතුයි. එහෙම නැතුව නඩු තීන්දුවලින් වෛද්‍යවරයෙක් සුදුසුද නැද්ද කියලා තීරණය කරන්න උසාවියට දීලා ක්‍රියාත්මක කළොත් වෛද්‍ය වෘත්තීය පමණක් නෙමෙයි සියලුම වෘත්තීය ක්‍ෂේත්‍ර කඩා වැටීමක් සිදුවෙයි.

වෛද්‍ය සභාවත් එක්ක ආණ්ඩුව සහයෝගයෙන් කටයුතු කරලා මේ ප්‍රශ්නෙ විසඳන්න. සියලු කොටස් එකතු වෙලා සියලු දරුවන්ට අසාධාරණයක් නොවන විදියට රෝගීන්ට නිසි සේවයක් ලබා දෙන තත්ත්වයක් අපේ රටේ ඇති කළ යුතුයි. එය කිරීමට අපි උපරිමයෙන් සහාය දෙනව කියලා මම කියන්න කැමැතියි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon