ඉන්දීය සාගරයේ මුතු ඇටය දකුණු ආසියා ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය කරනවා

  👤  3669 readers have read this article !
By mawbima 2017-02-17

පහන් විජේසේකර

ඕස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර දිගු කාලීන සංවර්ධන සහභාගිත්වය මඟින් පසුගිය වසර 70 තුළදී ශ්‍රී ලංකාවේ වර්ධනය හා සෞභාග්‍ය සඳහා වැදගත් දායකත්වයන් තහවුරු කරමින් නිපුණතා සංවර්ධනය, කුඩා ව්‍යාපාරික අවස්ථාවන්, වෙළෙ¼දාමේ තරගකාරීත්වය වැඩි කිරීම සහ ශ්‍රම බළකායේ ඉහළ කාන්තා සහභාගිත්වය දිරිමත් කිරීම ඇතුළු සංවර්ධන අරමුණු කරා ළඟා වීමට ශ්‍රී ලංකා රජයට සහාය දැක්වීමට ඕස්ට්‍රේලියානු රජයේ දායකත්වය හිමි විය.

ශක්තිමත් ඓතිහාසික සබඳතා, පොදු අගයන් සහ ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍ය සහ සාධාරණ මෙන්ම යුක්තිගරුක ජාත්‍යන්තර ක්‍රමයක් උදෙසා කටයුතු කිරීම වෙනුවෙන් දෙරටේ අග්‍රාමාත්‍යවරුන්ගේ අවධානය යොමු විය.

2009 වසරේ ගැටුම් නිම වීමත් සමඟ ශක්තිමත් ආර්ථික වර්ධනයක් සහ ජාතික සංහිඳියාවක් පිළිබඳ ශ්‍රී ලංකාව දක්වන ප්‍රගතිය අග්‍රාමාත්‍ය ටර්න්බුල් මහතාගේ ඇගයුමට ලක්වූ අතර සංහිඳියා ක්‍රියාමාර්ග සඳහා ප්‍රායෝගික සහාය ලබා දීමේදී ශ්‍රී ලංකාව සමඟ නිරන්තරයෙන් පෙනී සිටීමට ඕස්ට්‍රේලියාව එකඟතාව පළ කර ඇත.

කෘෂි ව්‍යාපාර, පතල් කැණීම්, පුහුණු හැකියාවන්, සංචාරක කර්මාන්තය සහ බලශක්තිය ඇතුළු ද්වී පාර්ශ්වික වෙළෙඳ හා ආයෝජන පුළුල් කිරීමේ අවස්ථාවන් කෙරෙහිද අවධානය යොමු වී ඇත.

බලශක්ති යටිතල පහසුකම් සම්බන්ධයෙන් කෙරෙන ආයෝජන ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික වර්ධනයේ ප්‍රධාන ගාමක බලවේගයක් විය හැකි නිසා ශ්‍රී ලංකා ආර්ථික සංවර්ධනය බලගැන්වීම සඳහා බලශක්ති සැපයුම අතින් ප්‍රධාන භූමිකාවක් ඉටුකිරීමට ඕස්ට්‍රේලියානු සමාගම්වල සහාය පිළිබඳවත් අවධානය යොමු කෙරිණි.

ඉන්දියා ශාන්තිකර කලාපය තුළ දියුණු වෙළෙඳ හා ආර්ථික සහයෝගිතාවක් සඳහා දෙරටටම ඇති සුවිශේෂී අවස්ථාවන් පිළිබඳ අවධානය යොමු කළ අග්‍රාමාත්‍යවරුන් කලාපීය වෙළොදාම වැඩිදියුණු කිරීම උදෙසා සමීපව කටයුතු කිරීමට දක්වන කැපවීමද තහවුරු කරගත්තේය.

ශ්‍රී ලංකාවේ ආයෝජන සහ ව්‍යාපාර සඳහා සම්බන්ධ වීමට උනන්දුවක් දක්වන ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්ත ව්‍යවසායකයන් සමඟ දිවා භෝජන හමුවකට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස සහභාගි වූහ.

මෙම දිවා භෝජන හමුව සංවිධානය කර තිබුණේ වික්ටෝරියා ප්‍රාන්ත කුඩා ව්‍යාපාර, නවෝත්පාදන සහ වෙළෙඳ අමාත්‍ය ෆිලිප් ඩෙලඩකිස් (ඩ්ධද: ර්ථීඩඪතඪන ච්චතඪඤචඬඪඵ) මහතා විසිනි.

දිවා භෝජන හමුවට පෙර වික්‍රමසිංහ මහතා සහ ඩෙලඩකිස් මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවන්ද පැවැත්විණි.

දිවා භෝජන හමුව අවස්ථාවේ ඩෙලඩකිස් මහතා කියා සිටියේ රට එක්සේසත් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගත් පියවර නිසා ආර්ථික අභියෝගයන් ඉතා පහසුවෙන් ජයගත හැකි පරිසරයක් උදාවී ඇති බවය.

ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර තිබෙන්නාවූ සබඳතාවන් වැඩිදියුණු කර ගත යුත්තේ තමන්ගේ බැඳීමෙන් පමණක් නොව ආර්ථික, සංස්කෘතික, ජාතික, අධ්‍යාපන හා කෘෂිකර්මාන්ත ක්‍ෂේත්‍රයන් නඟාසිටුවීමෙන් බවත් ඒ මහතා අවධාරණය කළේය.

වෙළෙඳ කටයුතු සඳහා කොළඹ වරාය ඉතා වැදගත් සංධිස්ථානයක් උසුලමින් පවතින පසුබිමක, මෙයින් ප්‍රයෝජන ගැනීම සඳහා වික්ටෝරියා ප්‍රාන්තය ඉදිරිපත් වීමට අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරය ඉවහල් වූ බව ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍ෂේත්‍රය වඩ වඩාත් ඉහළ මට්ටමකට ඔසවා තැබීමට උපරිම සහයෝගය ලබා දෙන බව ඩෙලඩකිස් මහතා පැවැසූ අදහසට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ, ශ්‍රී ලංකාවේ දූ දරුවන්ට අධ්‍යාපනය ලබා ගැනීම සඳහා එංගලන්තය හා ඇමෙරිකාව වැනි රටවල් ආගමන විගමන නීති පුළුල් කර ඇති බවත් ඕස්ට්‍රේලියාවෙන්ද එම අවස්ථාව බලාපොරොත්තු වන බවත්ය.

ලංකාවේ ආර්ථිකය නඟාසිටුවීමට හැකි සියලුම පියවරයන් ගෙන ඇති බවත් ඉන්දියන් සාගරයේ මුතු ඇටයක් වන ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ආර්ථිකයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම තම අරමුණ බව පැවැසූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ සඳහා තවත් සහයෝගය ලබා ගැනීම සඳහා වික්ටෝරියා ප්‍රාන්තය සමඟ සාකච්ඡා අරඹන මෙන් ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයාගෙන් හා ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට ‍ෙදාර විවර කර ඇති බැවින් ලංකාවේ ආයෝජනය කිරීමට ඕස්ට්‍රේලියාවේ ආයෝජකයන්ව පෙලඹවීමට තමන් පියවර ගන්නා බවත් රටවල් දෙක එක්ව වැඩ කරනවා නම් ඕනෑම අභියෝගයක් ජයගත හැකි බවත් සුළු ව්‍යාපාර, නවෝත්පාදන හා වෙළෙඳ අමාත්‍ය පිලිප් ඩෙලඩකිස් මහතා වැඩිදුරටත් පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon