මහාධිකරණ විනිසුරුව මම පත්කළේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ඉල්ලීමටයි

  👤  3520 readers have read this article !
By mawbima 2017-02-17

උදේනි සමන් කුමාර

නොබෝදා සිදුකළ මහාධිකරණ විනිසුරු පත්වීම සම්බන්ධව තමාට අන්තර්ජාලයේ, මාධ්‍යවල සහ අධිකරණ ක්ෂේත්‍රයේ ඇතැම් ආයතනවලින් චෝදනා එල්ල වන බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ඉල්ලීම පරිදි අදාළ ප්‍රධාන අංශවල අනුමැතිය ලබා එම පත්වීම සිදුකළ බව කවුරු අමනාප වුවත් ප්‍රකාශ කරනවා යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජාතික නීති සමුළුව අමතා ප්‍රකාශ කළේය.

අධිකරණ ක්ෂේත්‍රයේ කටයුතු පිරිසුදුව විනිවිදභාවයෙන් යුතුව ඉටුවිය යුතුය යන්න එදත්, අදත්, හෙටත් තම ස්ථාවරය බවද ජනපති පැවැසීය.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ජනාධිපති බලතල කොටසක් පාර්ලිමේන්තුවට සහ ස්වාධීන ආයතනවලට පවරා දුන්නා. ඉතිරිව ඇති බලතල පාවිච්චි කිරීමේදීත් තමා කිසිවිට තනි තීරණ නොගන්නා බවත් ජනපති ප්‍රකාශ කළේය. මේ රටේ අධිකරණ පද්ධතිය මහජන අරමුණ ඉටු කිරීමේදී තවමත් සංවාදවලට පමණක් සීමා වී ඇති අතර ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විසඳුම් ලැබී නැති බවද ජනපති පෙන්වා දුන්නේය. ජාතික නීති සම්මේලනයේ සමාරම්භක උත්සවය පෙරේදා (15දා) සන්ධ්‍යාවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ගාලු මුව‍ෙදාර හෝටලයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය සංවිධානය කළ සමුළුවට අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ, අග විනිසුරු කේ.ශ්‍රී .පවන් මහත්වරු මහාධිකරණ අභියාචනාධිකරණ හා ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු ඇතුළු ක්ෂේත්‍රයේ විශාල පිරිසක් සහභාගි වූහ.

ජනාධිපතිවරයා මෙසේද කීය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් මෙහෙයවනු ලබන 2017 ජාතික නීති සමුළුවට සහභාගි වීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටුවෙනවා. මේ වැදගත් අවස්ථාවට මට ආරාධනා කිරීම පිළිබඳව නීතිඥ සංගමයට මගේ ගෞරවනීය ස්තූතිය මා පුදකරනවා. පසුගිය වසර දෙකක කාලය තුළ ජනාධිපති ධුරයේ කටයුතු සිදුකිරීමේදී නීති ක්ෂේත්‍රයේත්, අධිකරණ ක්ෂේත්‍රයේත් විවිධ සමුළු සහ සාකච්ඡා සභාවලට සහභාගි වීමෙන් ලබාගත් අත්දැකීම තුළ බොහෝම සරලව සහ පැහැදිලිව කීමට තිබෙන කාරණයක් වන්නේ අපි බොහෝ දේවල් තවමත් කතා කරමින් සිටිනවා විනා බොහෝ දේවල්වලට අප විසින් විසඳුම් ලබාගෙන නොමැති බවයි.

නඩු කටයුතු ප්‍රමාද වීම සහ ඊට අදාළ විසඳුම් ලබාගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අපි සෑම කෙනෙක්ම සතු වගකීම සහ වගවීම නිසියාකාරව ඉටුවේද යන්න මා තුළ තිබෙන ප්‍රශ්නයක්. මේ රටේ පුරවැසියන් නීති ක්ෂේත්‍රය තුළ, අධිකරණ ක්ෂේත්‍රය තුළ බලාපොරොත්තු වන අරමුණු ඉටුකිරීම සඳහා සංවාදයට පමණක් සීමා වී ඇති බවක් පෙනෙනවා. එහෙත් ජනතාව බලාපොරොත්තු වන කරුණු ඉටු කිරීම සඳහා අපි සෑම කෙනෙක්ම එක්වී අපේ සාමුහික වගකීමක් සහ යුතුකමක් විදියට එම ගැටලු සහ ප්‍රශ්න විසඳීම අත්‍යවශ්‍ය කාරණයක් ලෙසයි රටේ මහජනතාව වෙනුවෙන් මම දකින්නේ. අපේ රටේ ගම්බද ජනතාව තුළත් ව්‍යවහාරයේ තිබෙන කතාවක් වන්නේ, "නඩු යන්නෝ වැනසෙන්නෝ" යන්නයි. විනිශ්චයකාරතුමකුගේ ශේ්‍රෂ්ඨාධිකරණයේ සිට මහෙස්ත්‍රාත් ධුරය දක්වා සෑම කෙනෙක්ම කටයුතු කිරීමේදී ඔවුන්ට ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය සතුටින්, සන්සුන්ව, නිදහසේ සිය වගකීම් ඉටු කරන්නට අවශ්‍ය පහසුකම් සහ වරප්‍රසාදවල පැහැදිලි ලෙසම අඩුවක් තිබෙන බව මම පිළිගන්නවා. යම් තනතුරක් දරන කෙනෙක් අධිකරණ ක්ෂේත්‍රයේ පමණක් නොවේ ඕනෑම ක්ෂේත්‍රයක සිය වගකීම සහ යුතුකම නිසිලෙස ඉටුකිරීම සඳහා ඔහුට අවශ්‍ය තෘප්තිමත් මානසිකත්වය, නිදහස් පරිසරය ඇතිවීමට අවශ්‍ය පහසුකම් සහ සාධාරණව රජයක් විසින් දිය යුතු වරප්‍රසාද ලබාදීම ඉතා අත්‍යවශ්‍ය බවයි මා විශ්වාස කරන්නේ.

කතාව අවසන් කිරීමට පෙර මම යම් කාරණයක් මගේ හිතට එකඟව සහ අවංකව පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙනවා. මගේ ප්‍රකාශය තුළ කාගේ හෝ හිත් රිදවීමක් ඇති වුවහොත් මම ඒ ගැනත් කනගාටුව පළකරනවා. මේ දිනවල අන්තර්ජාලය හරහා ෆේස්බුක්, වෙබ් අඩවි, මාධ්‍ය තුළ දකින දෙයක් තිබෙනවා. මට චෝදනාවක් තියෙනවා. ඒ වගේම අධිකරණ ක්ෂේත්‍රයේ විශේෂයෙන්ම කටයුතු කරන ආයතනික සංවිධාන කිහිපයකින් ලිඛිතව මේ සම්බන්ධයෙන් මට කරුණු දක්වලා තිබෙනවා පසුගිය දිනවල පත්කරන ලද විනිශ්චයකාර ධුරයක් පිළිබඳව. මහාධිකරණ විනිශ්චයකාර ධුරයක් සම්බන්ධව. මම ජනාධිපති ධුරයට පත්වුණාට පසුව මම දන්නා පරිදි මමත් අග්‍රවිනිශ්චයකාරතුමත් එකම කාලයක තමයි පත්වුණේ. 2015 එකම මාසේ. මගේ මතකයේ හැටියට විනිශ්චයකාරතුමන්ලා 21 දෙනකුට පත්වීම් 21ක් දීලා තිබෙනවා කියලා මගේ මතකයේ තිබෙන්නේ.

මහාධිකරණයේ විනිශ්චයකාර ධුරවල පුරප්පාඩු ඇතිවූ විට පසුගිය දිනවල ශ්‍රී ලංකා නීතිඥ සංගමය ලිඛිතව මගෙන් ඉල්ලීමක් කළා, විශේෂයෙන්ම දෙමළ භාෂාව කතාකරන විනිශ්චයකාරතුමන්ලාගේ අඩුවක් තිබෙනවා නීතිඥ සංගමය ඉල්ලීමක් විදියට පත්කිරීමක් කරන්න කියලා. එවැනි ඉල්ලීම් මට ආවත් සංගමයක් විදියටත් පෞද්ගලිකව යම් යම් අය මගෙන් ඉල්ලීම් කළත් විනිශ්චයකාරතුමන්ලා පත්කිරීම සම්බන්ධයෙන් ඒ කිසියම්ම අවස්ථාවක තනි තීන්දුවක් මගේ අභිමතය තුළ මම අරගෙන නැහැ. අරගන්නෙත් නැහැ. එවැනි නමක් යෝජනා වූ විට ඒ සෑම නමක්ම නෙවෙයි, නමුත් එක් නමක් සම්බන්ධයෙන් වැඩි ඉල්ලීමක් තිබෙනවා නම් ඒ ඉල්ලීම අදාළ අධිකරණ ක්ෂේත්‍රයේ ඉහළ අංශවලට මම යොමුකරනවා ඒ පත්වීම දීමට පෙර අදාළ නිරීක්ෂණ සඳහා. ඒ අනුව ශ්‍රී ලංකා නීතිඥ සංගමය මට ඉදිරිපත් කළ නම පිළිබඳව මම මුලින්ම ජනාධිපති ලේකම්ට උපදෙස් දුන්නා ඒ ඉල්ලීම ඉටුකළ නොහැකියි කියා නීතිඥ සංගමයට දන්වන්න කියලා.

ඒ අනුව ලිඛිතව ජනාධිපති ලේකම්වරයා නීතිඥ සංගමයට දැන්වුවා එම ඉල්ලීම ඉටුකළ නොහැකියි කියා. ඉන්පසුව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිතුමා සහ නියෝජිත පිරිසක් මාව හමුවෙලා මගෙන් ඉල්ලීමක් කළා. මේක නීතිඥ සංගමයෙන් කරන ඉල්ලීමක් මේක අහක දාන්න එපා. මේක කොහොමහරි ඉටුකරලා දෙන්න කියලා. ඉන්පසුව තමයි මම ඒ නමත් එක්ක අනෙක් පත්කරපු විනිශ්චයකාරතුමන්ලා ඔක්කොම පස් දෙනෙක්, ඒ සියලුම නම් ඇරියා අධිකරණ ක්ෂේත්‍රයේ ඉහළම ආයතනවලට. ඒ ආයතනවල නිරීක්ෂණ අනුව අනුමැතිය ලැබීමෙන් පසුව තමයි මම ඒ පත්වීම දුන්නේ. ඒ නිසා මම පැහැදිලිවම කියන්නට ඕනෑ මගේ පෞද්ගලික අභිමතාර්ථය තුළ මම කළ කටයුත්තක් නෙවෙයි. අනාගතය වෙනුවෙන් නීතිය සකස් විය යුතු ආකාරය ගැන අත්දැකීම් ඇත්තේ ඔබටයි. නීතියේ අඩුපාඩු අප දුටුවා. ඒවා වළක්වන්න පියවර ගත්තා. වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ නීතිය සම්මත කර ගැනීමට අපට නොහැකිව තිබුණා. අද එය සම්මතයි.

දෙමළ භාෂාවෙන් කිසිදු පනතක් සම්මත කර තිබුණේ නැහැ. පළමු වතාවට ප්‍රධාන පනත් පහක් දෙමළ භාෂාවෙන් නිකුත් කළා. ජාතික නීති සම්මන්ත්‍රණයකදී ඔබට මඟ පෙන්වන්න පුළුවන්.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්