අනුරාධපුර ඇලපත්ගම සංවර්ධනය කිරීමට පියවර

  👤  3537 readers have read this article !
By mawbima 2017-02-17

අනුරාධපුර - වික්‍රම රලපනාව

අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත නාහිමියන් වෙනුවෙන් පින් පැමිණවීමේ අරමුණින් අනුරාධපුර ඉතිහාසය හා සම්බන්ධ ඉපැරැණි ගම්මානයක් සංවර්ධනය කිරීමට කතානායක කරු ජයසූරිය මහතා පියවර ගනී.

සෝභිත නාහිමියන් වැඩ වසන සමයේ විලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඇලපත්ගම ගම්මානය සංවර්ධනය කිරීම සඳහා වැඩසටහන් මාලාවක් අරඹා තිබූ අතර ඒ සඳහා කේන්ද්‍රස්ථානය ලෙස එම ගමෙහි උන්වහන්සේගේ නමින් විහාරස්ථානයක්ද ගොඩනැඟුවේය. එය ශ්‍රී සෝභිතාරාමය වෙයි. මෙම ගම්මානය, මෙරට ඉතිහාසයේ ආරම්භකයා වන විජය රජුට මුල් රැජන වූ කුවේණියගේ පරපුර හා නෑකම් ඇති ජන කණ්ඩායමකට හිමි අතර එහි වැසියෝ අඩු පහසුකම් යටතේ දුෂ්කර ජීවිත ගත කරති. අනුරාධපුර බටහිර සීමාවේ විල්පත්තු කැලෑවට මායිම් වූ ඇලපත්ගම ගමනාගමන දුෂ්කරතා, වල් අලි උවදුර, පානීය, ජලහිඟය, වාරි ජලහිඟය හා දිළිඳු බව ආදී ගැටලු රාශියකින් පීඩාවට ලක් ව සිටිති.

සෝභිත නාහිමියන්ගේ 74 වැනි ජන්ම දිනය වෙනුවෙන් උන්වහන්සේට පින් පතා මෙම ගම්මානය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති මාලාවක් ආරම්භ කෙරුණේ ඉකුත් වසරේදීය. මේ වන විට ඇලපත්ගම මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කර ඇත. නිවාස වැඩපිළිවෙළටද රජය මුල පුරා ඇත. වැව් තුනක් අලුත්වැඩියා කිරීමටත් වගා ළිං 12ක් ඉදිකිරීමටත් මුල පුරා තිබේ.

එම කටයුතු අධීක්ෂණය සඳහා කතානායකවරයා පසුගිය 11 වැනිදා ඇලපත්ගම සංචාරයක නියැළිනි. එහිදී අදහස් දැක්වූ කතානායකවරයා සෝභිත හිමියන් වෙනුවෙන් කළ යුතු ජාතික යුතුකමක් ඉටුකරනු වස් මෙම ගම්මානය සංවර්ධනය කරන බව කීය.

මෙම ව්‍යාපෘතීන්ගේ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ විශේෂ හමුවක් එදින සෝභිතාරාමයේදී පැවැත්විණි. එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රි ඉෂාක් රහුමාන්, උතුරු මැද පළාත් සභාවේ විපක්ෂ නායක අනිල් රත්නායක, පළාත් සභා මන්ත්‍රි කස්තුරි අනුරාධනායක මහතුන් ඇතුළු මහජන නියෝජිතයෝ්ද, අනුරාධපුර මහ දිසාපති ආර්.එම්. වන්නිනායක, අතිරේක දිසාපති සමන් බන්දුලසේන, දිස්ත්‍රික් ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ සුගත් නයනානන්ද හා විලච්චිය ප්‍රාදේශීය ලේකම් අයි.ආර්. තිලකරත්න මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු ද එක් වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්