'සේනාසී - 2017' අධ්‍යාපන විද්‍යා හා වෙළෙඳ දැක්ම අදත්

  👤  3558 readers have read this article !
By mawbima 2017-02-17

ඉෂාරා සිල්වා

ඡායාරූප - සරත් කුමාර

අවුරුදු පනහක් වැනි කෙටි කාලයක් තුළ ඉතා විශාල ප්‍රගතියක් ලබා ගනිමින් දිවයිනේ සියලු පාසල් අතර කීර්තිමත් නාමයක් දිනාගැනීමට ඩී. එස්. සේනානායක විද්‍යාලය සමත් වී ඇති බව කතානායක කරු ජයසූරිය මහතා පැවැසීය.

ඩී. එස්. සේනානායකගේ තේමාව වූ "තමාට පෙර රට" යන්න රටේ දේශපාලනඥයන් ඇතුළු සියලු දෙනා හිතට ගෙන ක්‍රියා කරන්නේ නම් ශ්‍රී ලංකාව මීට වඩා සෞභාග්‍යවත් හා විනයගරුක රටක් බවට පත් වන බවද කතානායකවරයා පැවැසීය.

කොළඹ 07, ඩී. එස්. සේනානායක විද්‍යාලයේ 50 වැනි ස්වර්ණ ජයන්තිය සැමරීමට සමගාමීව පෙරේදා (15දා) එම විද්‍යාලයේ "සේනාසී 2017" අධ්‍යාපන, විද්‍යා හා වෙළෙඳ ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් කතානායකවරයා මේ බව පැවැසීය.

එම උත්සව සභාව අමතමින් කතානායක කරු ජයසූරිය මහතා මෙසේද කීය.

මේ විද්‍යාලය ආරම්භය ගැන කතා කළොත් මුල් කාලයේදී මේ ඉඩමට කිව්වේ කූඹි කැලේ කියලා. ඉතාමත් කුඩාවට ළමයි 17 දෙනකුගෙන් ආරම්භ කරලා අද වන විට දිවයිනේ කීර්තිමත් විද්‍යාලයක් බවට ඩී. එස්. සේනානායක විද්‍යාලය පත්වෙලා තිබෙනවා. සමාජයේ ගෞරවයට පාත්‍ර වන පුද්ගලයන් මේ විද්‍යාලය තුළින් බිහි කරලා තිබෙනවා.

අතීතය සිහිපත් කරන විට අපට අමතක කරන්න බැරි පුද්ගලයෙක් තමයි මේ විද්‍යාලයේ නිර්මාතෘ දිවංගත ආර්. අයි. ටී. අලස් මහතා. එතුමා මේ විද්‍යාලය වෙනුවෙන් බොහෝ කැප කිරීම් කළා. මේ විද්‍යාලය වෙනුවෙන් විවිධ දුෂ්කරතාවලට අසීරුතාවලට මුහුණ දුන්නා. මේ විද්‍යාලය වාසනාවන්ත පාසලක්. ආර්. අයි. ටී. අලස් මහතාගේ සිට මේ විද්‍යාලයට පත්වුණ විදුහල්පතිවරුන් ඉතාම කාර්යශූර පුද්ගලයන්. ඔවුන් නිසා තමයි අද මේ විද්‍යාලය මේ තත්ත්වයට දියුණුවෙලා තිබෙන්නේ.

මේ විදුහල නම් කළේ ඩී. එස්. සේනානායක මැතිතුමාගේ නමින්. එතුමාව අපි හඳුන්වන්නේ ජාතියේ පියා හැටියටයි. ඔහු දේශපාලන භේදයකින් තොරව දුරදක්නා නුවණින් කටයුතු කළ ජාතික වීරයෙක්. එදා රටේ ලේ හලලා ගැටුම් ඇතිවන විට ඩී. එස්. සේනානායක මහතා ප්‍රමුඛ ජාතික වීරවරයන්ට පුළුවන් වුණා අපේ රටට නිදහස ලබාදෙන්න.
එතුමා කියපු තවත් දෙයක් තමයි ජාතික අනන්‍යතාව රට තුළ ඇති කරගත යුතු බව. මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සෑම කෙනකුටම ජීවත් වීමට ඉඩ ලබාදිය යුතුයි. සමානාත්මතාව ඇති කළ යුතුයි. අපි සංවර්ධිත රටක් හැටියට සලකන සිංගප්පූරුව දියුණු වුණෙත් මේ ජාතික අනන්‍යතාව ඇති කිරීම නිසයි.

මේ පාසලේ සෑම ජාතියකටම අයත් දරුවන් අධ්‍යාපනය හදාරනවා. එය සුබ ලකුණක්. මේ දරුවන් පාසලෙන් අධ්‍යාපනය ලබලා අවසානයේ ඩී. එස්. දරුවන් වශයෙන් තමයි සමාජයට එකතු වෙන්නේ. මම විශ්වාස කරනවා අනාගතයේදී මේ පාසලෙන් අධ්‍යාපනය හදාරා පිටවන දරුවන් ලෝක ප්‍රජාවට සේවය කරයි කියලා.

"සේනාසී 2017" ප්‍රදර්ශනය කතානායක කරු ජයසූරිය, කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක යන මහත්වරුන් විවෘත කළ අතර මෙම අධ්‍යාපන, විද්‍යා හා වෙළෙඳ ප්‍රදර්ශනය අදත් (17දා) විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වේ.

ඩී.එස්. සේනානායක විද්‍යාලයේ විදුහල්පති ආර්. එම්. එම්. රත්නායක මහතා විසින් කතානායක කරු ජයසූරිය මහතාට සහ කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ලක්ෂ්මන් පියදාස මහතාට සමරු තිළිණ ප්‍රදානය කරන ලදී.

එමෙන්ම යුද හමුදා දිනයට සමගාමීව යුද හමුදා පහන් පිරික්සුම් සන්දර්ශනයක්, ශ්‍රී ලංකා ඉන්ජිනේරු බළකායේ සන්දර්ශනයක් සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සන්දර්ශනයක්ද ප්‍රදර්ශනය අතරතුරදී පැවැත්විණි.

මෙම අවස්ථාවට විද්‍යාලයේ විදුහල්පති ආර්. එම්. එම්. රත්නායක මහතා, ඩී. එස්. සේනානායක විද්‍යාලයේ නිර්මාතෘ දිවංගත ආර්. අයි. ටී. අලස් මහතාගේ බිරිය රෝහිණී අලස් මහත්මිය, වෛද්‍ය හර්ෂ අලස් මහතා, පාසලේ ගුරු මණ්ඩලය, ආදි ශිෂ්‍ය සංගමය, මවුපියන් සහ සිසූහූ රැසක් සහභාගි වී සිටියහ.

කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයට වසර 50ක් පිරීම නිමිත්තෙන් එයට සමගාමීව ඩී. එස්. නිමැවුම් පෙළහර සේනාසි ස්වර්ණ ජයන්ති 2017 අධ්‍යාපන ප්‍රදර්ශනය විද්‍යාලයේ විදුහල්පති ආර්. එම්. එම්. රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (15දා) එම විද්‍යාල පරිශ්‍රයේදී පාර්ලිමේන්තු කතානායක කරු ජයසූරිය මහතාගේ හා කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමාගේ සුරතින් විවෘත කෙරිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon