අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය පිතිකරු සධීර හා පන්දු යවන මලින්ද ඉදිරියෙන්

  👤  3474 readers have read this article !
By mawbima 2017-02-16

විචිත්‍ර වීරසිංහ

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරනු ලබන පළමු පෙළ අන්තර් සමාජ ක්‍රිකට් "ඒ" කොටසේ තරගාවලියේදී සුපිරි අට වටයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනිමින් ශූරතාව දිනාගැනීම සඳහා එස්.එස්.සී. කණ්ඩායම හා චිලව් මේරියන්ස් කණ්ඩායම අතර තියුණු තරගයක් මේ වනවිටත් නිර්මාණය වී තිබේ.

ඒ අනුව තරග 3කට සහභාගි වී තරග තුනම ජයගෙන මුළු ලකුණු 52.74ක් ලබා සිටින චිලව් මේරියන්ස් කණ්ඩායම මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන ඇති අතර, දෙවැනි ස්ථානයේ පසුවන එස්.එස්.සී. කණ්ඩායමද තරග තුනකට සහභාගි තරග තුනම ජය ගනිමින් මුළු ලකුණු 51.225ක් ලබා සිටී.

කෙසේ වෙතත් චිලව් මේරියන්ස් හා රාගම අතර මේ වනවිට පැවැත්වෙන තරගයෙන් චිලව් මේරියන්ස් කණ්ඩායම පරාජය වුවහොත් හෝ තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වුවහොත් එයින් එස්.එස්.සී. කණ්ඩායමට යම් වාසිසහගත තත්ත්වයක් ඇති වෙයි. එහිදී එස්.එස්.සී. හා සී.සී.සී. කණ්ඩායම් අතර මේ වනවිට පැවැත්වෙන තරගයෙන් එස්.එස්.සී. කණ්ඩායමට ජය ගැනීමට හැකි වුවහොත් නිතැතින්ම ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් වනු ඇත.

මේ අතර පසුගිය සතියේදී පිතිකරුවන් අතර පෙරමුණ ගෙන සිටි බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමේ නිපුන් කරුණානායක දෙවැනි තැනට ඇද දමමින් එහි පෙරමුණ ගැනීමට කෝල්ට්ස් කණ්ඩායමේ සධීර සමරවික්‍රම සමත්ව සිටී.

එහිදී අවුරුදු 21ක් වයසැති සධීර සමරවික්‍රම තරග 10කට සහභාගි වී ලකුණු 1016ක් ලබා සිටින්නේ ශතක 3ක් හා අර්ධ ශතක 6ක්ද සහිතවය. එහි දෙවැනි තැන බ්ලූම්ෆීල්ඩ් ක්‍රිඩා සමාජයේ නිපුන් කරුණානායකටත් (926), තෙවැනි තැන සී.සී.සී. කණ්ඩායමේ රොන් චන්ද්‍රගුප්තටත් (837) හිමිව තිබීමද විශේෂත්වයකි.

පසුගිය සතියේදී මෙන්ම මෙවරත් පන්දු යවන්නන් අතර පෙරමුණ ගෙන ඇත්තේ චිලව් මේරියන්ස් කණ්ඩායමේ මලින්ද පුෂ්පකුමාරයි. ඔහු මේ වනවිට තරග 9කදී කඩුලු 77ක් ලබා ඇති නමුත් මේ දිනවල එංගලන්ත "ඒ" කණ්ඩායම සමඟින් පැවැත්වෙන තරගයට ක්‍රීඩා කිරීම හේතුවෙන් ඔහු රාගම සමඟ පැවැත්වෙන තරගයට ක්‍රීඩා කරන්නේ නැත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon